වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර ලබානොගත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධාවක් නොමැති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම පක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට කැමැත්ත ප්රකාශ කර ඇති මන්ත්රී පිරිසට දැනුම්දී තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්රීවරුන් 29 දෙනෙකු ජනාධිපතිවරයා මුණගැසී ඊයේ (15දා) සවස පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීරණය දැනුම් දුන් බව එම පක්ෂයේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
එහෙත් මේ මොහොතේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධව ඉල්ලීම් නොකරන ලෙසත් පක්ෂයට හානියක් නොවන ලෙසට කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.
ඇමති ධුර ලබා නොගත් අයගේ ආසන සංවිධායක ධුර අහෝසි කරන්නේදැයි එහිදී මන්ත්රී පිරිස විමසීමක් කර ඇති අතර, එවැනි තීරණයක් ගෙන නැතැයි මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
ලබන 22 වැනිදා පාර්ලිමේන්තුව ආරම්භ කළ පසු මෙම තීරණය කථානායකවරයාට දැනුම් දීමට මෙහිදී තීරණයක් ගත් බවද වාර්තා වෙයි.
විජේරාම මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැති මෙම සාකච්ඡාව ඊයේ සවස 5.00 පමණ ආරම්භව පැය 1 1/2 ක් පමණ පැවැති අතර ඒ සඳහා ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, ප්රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, රංජිත් සොයිසා, ගීතා කුමාරසිංහ, ජොන්ස්ටන් ප්රනාන්දු, කුමාර වෙල්ගම යන මහත්වරු ඇතුළු මන්ත්රීවරු 29 දෙනෙක් සහභාගී වූහ.