එක්සත් ජාතික පෙරමුණ යටතේ ඇමතිකම් ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවත්, ඇතැම් පුද්ගලයන් රණ්ඩු කර හොඳ අමාත්‍යධුර ලබාගත් බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
ඊයේ (22දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
“මම දේශපාලනයට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ රජයක් හදන්න විශාල කැපකිරීමක් කළා. අපට කොච්චර වැඩ කරන්න පුළුවන් වුණත් මට ලැබුණ අමාත්‍යාංශය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය. මට ලැබුණේ බෝඩ් ලෑල්ලක් විතරයි. අලුතෙන්ම අමාත්‍යාංශයක් හදලා අගමැතිතුමා දුන්න ඉලක්කය තමයි අපනයන දෙගුණයක් කරන්න ඕන කියලා. ඩොලර් මිලියන 263කට තිබුණ අපනයන ආදායම ඩොලර් මිලියන 463ක් වෙනකම් වැඩි කළා.
අවුරුදු පහේ ඉලක්කය මම අවුරුදු තුනකින් ඉවර කරලා තියෙනවා. ගම හදන ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයට අඩු ඡන්ද ප්‍රමාණයක් දීලා අපට මේ කම්මුල් පහර ගැහුවේ ආණ්ඩුව මාරු කරන්න බලාගෙන නෙමෙයි. පෙන්නුවේ මීට වැඩිය වැඩක් කරන්න ඕන කියලයි. අපේ ඔක්කොගෙම ඇස් දෙක ඇරිලා තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ කැබිනට් සංශෝධයෙන් මගේ හැකියාවෙන් වැඩක් ගන්න මීට වැඩිය අමාත්‍යාංශයක් බාර දෙයි කියලා.
හැබැයි එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද මේ එක්සත් ජාතික පෙරමුණත් එක්ක අපි ආණ්ඩුවක් හදනකොට ගොඩක් හොඳ ඇමතිකම් එක එක්කෙනා රණ්ඩු කරගෙන අරගෙන තිබෙනවා. හැබැයි ඒ ඇමතිකම්වලින් නියම ආකාරයෙන් සේවයක් වෙලා තියෙනවද කියන එකයි ගැටලුව.” යනුවෙන් ඔහු කියා සිටියේය.