ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදාගෙන කටවුට් ගසමින් සිය ඡන්ද ව්‍යාපාරය සිදුකරමින් සිටින බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය, ප්රචණ්ඩත්වය ක්‍රියාත්මක වීමට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් යුක්තිය ඉල්ලා, රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (18දා) පෙ.ව. 10.00 ට පොදු සන්ධානයේ පක්ෂ නායකයන් හා සාමාජිකයන් එක්ව සිදුකළ සත්‍යග්‍රහයේදී මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "ආරක්ෂක අංශය යොදා ගනිමින් කටවුට් ගසමින් ජනතාවට රාජපක්ෂ පාලනය විසින් බලපෑම් කරමින් සිටිනවා. ජනතාවගේ පෙට්‍රල් ලීටරයෙන් ගන්නා රුපියල් 52, ඩීසල් ලීටරයෙන් ගන්නා රුපියල් 17, කිරිපිටි කිලෝ එකකින් ගන්නා රුපියල් 135 වැනි මුදල්වලින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටිනවා. අනෙකුත් පාක්ෂිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයත් මැදිහත්කර ගනිමින් බලපෑම් කරමින් සිටිනවා." යැයි සඳහන් කළේය.