ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට තරගයක් ලබා දිය හැකි නායකයන් සිරභාරයට ගැනීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (26දා) පැවසීය.
ඒ අනුව යමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අසත්‍ය ප්‍රචාර පතුරමින් සිටින බවත්, ඔහුගේ නිදහස අහිමි කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනන්‍යතාව ආරක්ෂා වන අයුරින් තම පක්ෂය ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වන බවත්, පොහොට්ටුව ලකුණ ජනතාව ආකර්ෂණය කරගෙන තිබෙන බැවින් වෙනත් ලකුණක් අවශ්‍ය නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජී.එල්. පීරිස් මහතා මේ බව පවසා සිටියේය.