ආණ්ඩුව පසුගිය රජයේ අමාත්‍යවරුන්ට හොරු යැයි චෝදනා කළත් එම චෝදනා මේ වන විට ඔප්පුකර ගත නොහැකිව තිබෙන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. ඊයේ (13දා) නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පක්ෂ ක්‍රීයාකාරීන් හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
" පසුගිය කාලයේ හිටපු හැම ඇමතිවරයෙකුටම හොරු කියලා චෝදනා කළා. හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතොසෙන් ණයක් අරගත්තා කියලා අත්අඩංගුවට ගත්තා. බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා කළා. නමුත් අද ඒ චෝදනා ඔප්පු කරගන්න බැරි වී තිබෙනවා. මේවා තනිකරම දේශපාලන පළිගැනීම්.
රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ ජනතාව වරමක් දීලා නෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ රටේ ජනතාව ඡන්දය දුන්නා. නමුත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු කරන්නවත්,රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වෙන්නවත් මේ රටේ ජනතාව ඡන්දය දීලා නැහැ.
ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා හැටියට ඉදිරිපත් වුණොත්, අපේ ආණ්ඩුවක් පිහිටුවාගන්න පුළුවන්.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහනට අපි හැමෝම සහාය දුන්නා. දැන් දින සියය අවසන්. ගමත් නගරයත් දෙකම සංවර්ධනය කරන්න නම් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂ එකතුවී ඉදිරි මහමැතිවරණයේදීද එක්ව කටයුතු කිරීම ජයග්‍රහණයේ අඩිතාලමයි" යැයි මන්ත්‍රීවරයා පැවැසීය.
නිමල් පෙරමුණ