හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමාට ලෝකයේ ඕනෑම තැනකදී හමුවිය හැකි බවත් ඒ සඳහා බාධාවක් නැති බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම තමා යුක්රේනයේ ආණ්ඩුවිරෝධී කැරළිකරුවන්ට ආයුධ සැපයූ බවට යුක්රේනය තමාට එරෙහිව පරීක්ෂණයක් කරන බවට ආණ්ඩුව කළ ප්‍රකාශය සාවද්‍ය බවත් එසේ පරීක්ෂණයක් කරන්නේ නම් තමා එරට අගනුවර ජීවත්වෙන්නේ කෙසේදැයිද ඔහු ප්‍රශ්න කරයි.
උදයංග වීරතුංග මහතා නිකුත් කළ නිවේදනය
යහපාලන ආණ්ඩුව මා ගැන වපුරන සාවද්‍ය මත
පසුගිය දවස්වල යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා එම ආණ්ඩුවට පක්ෂපාත විවිධ මාධ්‍ය විසින් මා ගැන විටින් විට මත පල කරනු ලබයි. මා හිටපු ජනාධිපතිතුමාව තායිලන්තයේදී හමුවුනේය, උගන්ඩාවේදී හමුවුනේය කියා ඇතැම් අය චෝදනා මුකයෙන් කතා කරනු අපට පෙනිණි. හිටපු ජනාධිපතිතුමාව ලෝකයේ ඕනෑම තැනකදී හමුවීමට මට කිසිදු බාධාවක් නැති බව මම මුලින්ම කිව යුතුය. මම ලංකාවට පැමිණ එතුමා හමු නොවන්නේ යහපාලන ආණ්ඩුව හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන්ට හා නිලධාරීන්ට එරෙහිව දියත් කර තිබෙන අසාධාරණ දඩයම නිසාය.
මම රාජපක්ෂ ආණ්ඩුව සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තනාපති ලෙස පත්වීමට පෙර ජීවත්වුයේ ලංකාවේ නොවේ. මා එකල ජිවත් වුයේ යුක්රේනියාවේය. රුසියාවේ ශ්‍රී ලංකා තනාපතිකමින් ඉවත් වූ පසුත් මා ඉන්නේ යුක්රේනියාවේය. යුක්රේනියා ආණ්ඩු විරෝධී කැරළිකාරුවන්ට ආයුධ සැපයීම ගැන යුක්රේනියා ආණ්ඩුව මට විරුද්ධව පරීක්ෂණයක් කරනවාය කියා යහපාලකයෝ මට විරුද්ධව ගෙනයන ප්‍රචාරය අමුලික බොරුවකි. මම යුක්රේනියා ආණ්ඩුව විරෝධී කැරළිකාරුවනට ආයුධ සපයා තිබුණේ නම් මම යුක්රේනියාවේ අගනුවර ජිවත් වෙන්නේ කෙසේද?
මේ බොරු අතේ පත්තුවෙන නිසා ඔවුන් දැන් වෙනත් බොරු ගොතමින් සිටී. රුසියාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරුවකු ලෙස සේවය කල නොයෙල් රණවීර මහතාගේ මරණයට මා වගකීව යුතු බවට මුසාවක් ඔහුන් පතුරුවා හරිය අතර, එම මරණය සිදුකල රුසියානු ජාතික, වාහනයේ රියදුරාට නඩු පවරා දඩුවම්ද නියම කර, ඒ පිළිබඳ නඩු වාර්තාවද විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒවා තිබෙන නිසා ඒ මුසාවත් අතේ පත්තු විය.
මම තවමත් මට තානාපතිවරයකු හැටියට හිමිව තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය පාවිච්චි කරමින් සිටින බවට යහපාලන ආණ්ඩුව තවත් ප්‍රචාරයක් ගෙන ගියා නමුත්, විදේශ අමත්‍යාංශයේ අනුමැතිය ඇතිව මට නිකුත් කර තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර, 2015 මාර්තු 06 දින සාමාන්‍ය ගමන් බලපත් නිකුත් කල බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය සතියේ මාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩුවේ තවත් පට්ටපල් බොරුවක් අතේ පත්තුවීම හේතුවෙන් යහපාලකයෝ කුපිත වී ඇති බව පසුගිය කැබිනට් වාර්තා කියවීමෙන් පෙනීයයි.
මම ලංකාවේ මෙන්ම යුක්රේනියාවෙත් නීතියේ රැහැනින් බේරීමට ලෝකය පුරා කට්ටි පනිමින් සිටින පුද්ගලයකු හැටියට හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. නමුත් මම යුක්රේනියාවේ ජීවත්වනවා පමණක් නොව ඒ රටේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටී. එමෙන්ම යහපාලන ආණ්ඩුවට එරෙහිව විදේශගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් සිටිමි. ලංකාවට පැමිණ යහපාලකයන්ගේ දඩයම පහසු කර දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔවුන් දඩයමක් කරන්නේ නම් ඒ සඳහා ඔවුන් උපරිම ලෙස කරදර විදින බවට වගබලා ගැනීමට මම සැදී පැහැදි සිටිමි.
උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.