ආණ්ඩුව විසින් දැනට සිදුකරන සාකච්ඡාවලට සහභාගි වන මැති ඇමතිවරුන් එම අවස්ථාවලදී නිහඬව සිට එළියට ඇවිත් තමන්ට අභිමත ප්‍රකාශ සිදුකරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (15දා) පැවසීය.
ඊයේ (14දා) දිනයේ පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල සන්දේශ 80ක් අනුමත කළ බවත්, එම අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ ඇතැම් පුද්ගලයන් එළියට ඇවිත් වීරයන් වීමට යම්යම් ප්‍රකාශ නිකුත් කරන බවද ඇමතිවරයා කීවේය.
අද (15දා) දිනයේදී අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට පැමිණි එ.ජා.ප. මැති ඇමතිවරුන් නායකත්වය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවද ඔහු පැවසීය.
සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් යැයි එහිදී ප්‍රකාශ කළ බවත්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ වැරදි රාශියක් තිබෙන බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට යළිත් බලයට පැමිණීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, ඔහුගේ පාලන කාලය තුළදී සිදු වූ දූෂණ වංචා පිළිබඳ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැකි බවත් ඒ මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කීවේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය යන දේශපාලන පක්ෂ හා පී. දිගම්බරම් මහතා එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවට පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙක අවසන් වන තුරු රට පාලනය කරන බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.
දැනට සිදු කෙරෙන සාකච්ඡා අවසානයේදී යහපාලන රජය මීට වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත්, ආණ්ඩුවේ රැඳී සිටීමට අකැමැති ඕනෑම අයෙකුට ඉවත්ව යාහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ආරුමුණ්ගම් තොණ්ඩමන් මහතා පොදු ජන පෙරමුණට සහාය ලබාදෙන බවට පසුගිය දිනවලදී අසත්‍ය ප්‍රකාශ පළවූ බවත්, තොණ්ඩමන් මහතා සහ සී.බී. රත්නායක මහතා එක වාහනයක නැගී ගිය පමණින් එවැනි සහායදීමක් සිදුව නැති බවත් ඇමතිවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ රැඳී සිටියදී ආණ්ඩුවේ වෙනස්කම් සිදු කළ හැකි බවත්, එක්සත් ජාතික පක්ෂය තුළද යම්යම් වෙනස්කම් සිදුවිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් නැති බවත්, වැඩි වාසි එක්සත් ජාතික පක්ෂයට තිබෙන බවත් පැවසූ හෙතෙම, දෙපාර්ශ්වයේ සහායෙන් පිහිටු වූ යහපාලන ජාතික රජයේ වෙනසක් සිදුනොවන බවත් පවසා සිටියේය.