පුත්තලම ඇතුළු ගම්මාන සීයකට ආසන්න ප්රමාණයක උග්ර ගැටලුවක්ව තිබෙන අලි මිනිස් ගැටුම නිමා කිරීමේ අරමුණින් ගම් වැදී සිටින වන අලි එලවා දැමීමේ දින දහයේ මෙහෙයුම ආරම්භ කර සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරන බව වන ජීවි නිළධාරින් පවසයි.
මෙම මෙහෙයුම සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබා ගෙන වනජීවි දෙපාර්තුමේන්තුව 5 වැනිදා සවස 3.00 ට පමණ මදුරගම ප්රදේශයෙන් ආරම්භ කළේය. මෙහෙයුම 15 වැනිදා දක්වා ක්රියාත්මකය.
මදුරගම, කල්අඩිය, නෙළුම්ගම, අට්ටවිල්ලුව, උත්තර අට්ටවිල්ලුව, පොත්තුවිල්ලුව, ගල්කුලම, දංගහවල, කිවුල, කන්දෙයාය, බෝගහ යාය, මැල්ලන්කුලම, ඇතුන්ගොඩ, මොරියාකුලම ඇතුළු අනෙකුත් ගම්මානවල රැදී සිටින වල් අලි රංචු පලවා හැරීම ආරම්භ කල බව වයඹ පළාත් වන ජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්යක්ෂක ඒ.ඒ. සුමනසේන මහතා පවසයි.
ගම්මානවල රැදී සිටින වන අලි සෙල්ලකණ්ඩල් රක්ෂිතය වෙත රැගෙන යාමට කටයුතු කරන බවත්, එහිදී නැවත එම වල් අලි ගම්වැදීම වැළැක්වීම සදහා විදුලි වැට සක්රිය කරන බවත් කරුවලගස්වැව වන ජීවි අඩවි ආරක්ෂක කේ.ලක්ෂමන් රෝහිත මහතා පවසයි.