පෙරහර සහ ආගමික උත්සව සඳහා හීලෑ අලිඇතුන් ලබාදීමට හීලෑ අලිඇතුන්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් උඩවලවේ ස්ථාපිත කරන බව වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පැවසීය.
නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටින අලිඇතුන් අධිකරණය මගින් ලබාගෙන එම ඒකකය සඳහා යොමුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (20දා) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.
රුපියල් මිලියන 60 වියදම් කරමින් මාස 02 ඇතුළත උඩවලවේ ඒම ඒකකය ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.එමෙන්ම ඉදිරියේදී මාසයක කාලයක් පමණ සංචාරකයන්ට යාල වනෝද්‍යානය තහනම් කර තබන බවත්, යාල හැර ලංකාවේ අනිකුත් වනෝද්‍යානය වෙත සංචාරකයන් යොමුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
පරිසරය සුරැකීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත්, පවතින තත්ත්වයේ යාල වනෝද්‍යානය පැවතුණහොත් බොහෝ ඉක්මනින් එය විනාශ වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉදිරියේදී යාල වනෝද්‍යානයේ කලාප සියල්ල නැරඹීම වෙනුවට එක් දොරටුවකින් ඇතුළු වී එක් කලාපයක් පමණක් නැරඹීමට හැකිවන පරිදි යාල වනෝද්‍යානය සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.