අල්ලස් ගත් වරදට හිටපු සභාපතිට වසර 13ක සිර දඬුවමක්
කොරියාවේ රැකියා ලබා දෙන බවට පවසමින් ගොවියෙකුගෙන් රුපියල් 75,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු රඹෑව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති රනිල් මාධව කමල් නිළමේ නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතළ වැඩ සහිත වසර 13ක සිර දඬුවමක් අද (03දා) නියම කළේය.
ගොවියෙකුගෙන් අල්ලස් ඉල්ලා ලබා ගත් මෙම විත්තිකරුට මහජන සේවය සඳහා බව පවසමින් දේශපාලනයට පිවිසෙන සෙසු දේශපාලනඥයන්ටද පාඩමක් වන අන්දමින් දඩුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතිඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා මෙම සිරදඬුවම වසර 05ක කාලයක් තුළ ගෙවී යන ලෙස ක්රියාත්මක කිරීමටද නියම කළේය.
මීට අමතරව චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන් සිරඬුවමට අමතරව රුපියල් 40,000ක දඩයක්ද ගෙවීමටද විත්තිකරුට නියම කෙරිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි සියලු චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව විනිසුරුවරයා තීරණය කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතිඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය අධිකරණය අමතමින් මෙම විත්තිකරු මහජනතාවට සේවය කිරීමට බව පවසමින් මහජන ඡන්දයෙන් තේරී පත්වී ප්රාදේශීය සභාවේ සභාපතිධුරයට පත් වී ඇතැයි පැවසුවාය.
ගොවියෙකු සිය කිරි හරක් විකූණා මෙම විත්තිකරුට මුදල් දී ඇති බව නඩු විභාගයේදී හෙළි වුයේ යැයිද එවැනි දුප්පත් ගොවියෙකුගෙන් දේශපාලඥයන් අල්ලස් ගැනීම තුළින් රටක් කඩා වැටෙන බව පෙන්වා දුන් නීතිඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය රටේ සිටින සෙසු දේශපාලනඥයන්ටද පාඩමක් වන අන්දමින් මෙම විත්තිකරුට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අල්ලස් ඉල්ලීමේ චෝදනාවට වසර 05ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද, අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබූ චෝදනා දෙකට වසර 04 බැගින් වසර 08ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතිඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය පෙනී සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

