මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා වෙනත් අයගේ සාක්කි සහ ලේඛන අධ්‍යනය කිරීම කල් ලබා දෙන ලෙස බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (20දා) කොමිසමෙන් ඉල්ලා සිටියේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සාක්කි මෙහෙයවා අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා විසින් එලෙස කොමිසමෙන් අවසර ඉල්ලා සිටින ලදී.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සාක්කි මෙහෙයවා අවසන් වීමෙන් අනතුරුව කොමිසම ඇමතූ බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පෙර මෙම කොමිසම හමුවේ සාක්කි දුන් වෙනත් සාක්කි කරුවන්ගේ සාක්කි හා කොමිසමට ඉදිරිපත් කළ ලේඛන අධ්‍යනය කිරීමට අවශ්‍ය වී ඇතැයි පැවසීය.
ඒ හේතුව නිසා අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට තමන්ට දින දෙකක කාලයක් ලබා දෙන්නැයි කොමිසමෙන් අවසර ඉල්ලා සිටියේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කොමිසම අමතමින් එම ඉල්ලීමට අවසරදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොමිසම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම අනිද්දා (22දා) දක්වාද කොමිසමේ ඉතිරි සාක්කි විමසීම ලබන මස (02දා) දක්වාද කල් තැබුවේය.