දිස්ත්‍රික්ක 22කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 318,276කට අයත් පුද්ගලයෝ 1,145,618 ක් තවමත් පීඩාවට පත් ව සිටිති.
සහන කඳවුරු 599 ක පවුල් 31863කට අයත් පුද්ගලයන් 109,875 ක් රඳවා සිටින අතර, පුද්ගල මරණ 35 ක් සිදු වී අතුරුදන් වීම් 03 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.
නිවාස 21,490කට හානි සිදුව තිබෙන අතර, එම ප්‍රමාණයෙන් නිවාස 5,200 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
ආපදා තත්ත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 19 ක් සිදුව තිබෙන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 3348කට අයත් පුද්ගලයන් 12,608 ක් පීඩාවට පත්ව තිබේ.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ මඩකලපු දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 138,100 කට අයත් පුද්ගලයන් 493,879 දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එම දිස්ත්‍රික්කයේ සහන කඳවුරු 112 ක් තුළ පවුල් 9085කට අයත් පුද්ගලයන් 29800 ක් රඳවා තිබේ. අදාළ දිස්ත්‍රික්කයේ නිවාස 12,509කට හානි සිදුව තිබෙන අතර එම ප්‍රමාණයෙන් නිවාස 4,122 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් බැහැරට යමින් තිබෙන බවයි. එහෙත් උතුර, උතුරු මැද, වයඹ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවද ඔහු කියා සිටියේය.
මේ අතර, පවත්නා ආපදා තත්ත්වය යටතේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා වූ විශේෂ අයවැය චක්‍රලේඛයක් (අංක 152 (III) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බවත්, එමගින් සපයනු ලබන සහනාධාර ගංවතුරෙන්/නායයෑමෙන් යට වූ, කොටු වූ සහ ජීවනෝපාය අහිමි වූ සියලුම ජනතාව වෙත සැලසෙන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ විපතට පත්වූවන් සඳහා සහන සැලසීම සඳහා වූ මාධ්‍ය දැනුම්වත් කිරීමේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට ඊයේ (30දා) අඟුණකොළවැවදී එක් වෙමිනි.
හදිසි ආපදා තත්ත්වයකදී විවිධ අමාත්‍යාංශ විසින් ආපදාවන්ට ලක්වූ දිස්ත්‍රික්කයන්හි සහන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මකක වන විවිධ වැඩසටහන් සමග ද්වීකරණය වීම තුළින් අදාළ රාජ්‍ය ආයතන මුහුණ දෙන ගැටලු සහගත තත්ත්වයන් ඉවත්වී එම කටයුතු විධිමත් කිරීම සඳහා වන 2011.05.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව සහ 2013.03.21 හා 2013.06.20 දිනවල පැවති ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීම්වල නිර්දේශ මත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම, හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම හා හානියට පත් ප්‍රදේශ යථාතත්ත්වයට පත් කිරීඹ සඳහා වන මාර්ගෝපදේශ මැයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2011.06.14 දිනැති ජාතික අයවැය චක්‍රලේඛ 152 මෙයින් අවලංගු කරන අතර, මෙම චක්‍රලේඛයේ සඳහන් කොට ඇති විධිවිධාන 2013.07.04 දින සිට ඉදිරියට බල පැවැත්වෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විශේෂ අයවැය චක්‍රලේඛය මගින්,
සුබසාධන මධ්‍යස්ථානවල රඳවා ඇති ජනතාව සිය මුල් වාසස්ථානවල පදිංචියට යන තෙක් පිසූ ආහාර අඛණ්ඩව සැපයීම හා වියළි සලාක ලබාදීම. ආපදා හේතුවෙන් අහිමි වූ එදිනෙදා ජනජීවිතයට අත්‍යවශ්‍ය වූ පාරිභෝගික භාණ්ඩ (කොට්ට, පැදුරු, ඇඳ ඇතිරිලි ආදී) එක් පවුලකට රු.5,000/- ක උපරිමයකට යටත්ව සැපයීම. ආපදා හේතුවෙන් පාසල් දරුවන්ට අහිමි වූ පොත්පත්, උපකරණ සහ පාසල් බෑගයක් සපයා ගැනීම සඳහා එක් දරුවෙකුට රු.2,000/- ක උපරිමයකට යටත්ව සැපයීම. ජනතාවගේ සෞඛ්‍ය සේවා අඛණ්ඩව සැපයීම හා හානියට පත් වූ සහ අවහිර වූ ළිං පිරිසුදු කිරීම සහ වැසිකිලි වලවල් පිරිසුදු කිරීම සිදුවෙයි.
එමෙන්ම, හානියට පත් නිවාස යථාතත්ත්වයට පත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගත යුතු අතර, ඒ සඳහා ප්‍රතිපාදන සැපයීම. ජලාපවාහන පද්ධති පිරිසුදු කිරීම සහ නිවාසවල අවහිර වී ඇති වැසිකිලි වලවල් පිරිසුදු කිරීම. නායයෑම්වලින් විපතට පත්ව විකල්ප ඉඩම්වල නැවත පදිංචි කිරීමේ නිවාස ඉදිකිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරනු ලැබීම සහ රජයේ රක්ෂිත කලාපවල, අවදානම් කලාපවල සහ අනවසර ඉදිකිරීම් කොට පදිංචිව සිටි පීඩාවට පත් වූ ජනතාව සඳහා විකල්ප ඉඩම් ලබාදී ඔවුන් නැවත පදිංචි කිරීම. සෙවිල් තහඩු සැපයීම මෙන්ම, ආපදාවලින් හානියට පත්/අහිමි වූ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා රු.50,000/- ක උපරිමයකට යටත්ව පොලී රහිත ණයක් රාජ්‍ය බැංකු මගින් සපයනු ලබන බැවින් ඒ සඳහා අදාළ බැංකු ශාඛා මගින් ඉල්ලුම් කළ හැකි වීම.
මීට අමතරව, ආපදාවලින් පීඩාවට පත් රාජ්‍ය සේවකයන් සඳහා දැනට ලබාදෙනු ලබන මාස 10ක සහ උපරිම රු.250,000/- ක ආපදා ණය සීමාව මාස 20ක් දක්වා සහ රු.500,000/- ක උපරිමයකට යටත්ව රාජ්‍ය බැංකුවලින් සෘජුවම ලබාගත හැකි බවත්, 4.2% ක පොලී අනුපාතය රාජ්‍ය සේවකයින් ගෙවිය යුතු අතර, බැංකුවලින් සපයනු ලබන පොලී වෙනස භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ගෙවීම. මෙම පහසුකම ක්ෂණිකව ලබාගැනීමට අපේක්ෂා කරන පීඩාවට පත් රාජ්‍ය සේවකයන් තමන්ට පහසු රාජ්‍ය බැංකු ශාඛාවකින් මෙම පහසුකම ලබාගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නිකුත් කරනු ලබන වැටුප් සහතිකයක් ඉදිරිපත් කළ යුතු වීම හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් හා ආයතනවල සිටින නිලධාරීන්ටද මෙම පහසුකම එම ආයතන මගින් මෙහෙයවන වැඩසටහන් යටතේ ලබාගත හැකි වීම.
ඉන්දික හේවාවිතාරණ /බෝගහඉඳිවැව නුවන්