අයවැය තුළින් රාජ්‍ය සේවකයාට සහන නොලැබීම සහ රාජ්‍ය සේවකයන්ට ලබාදී තිබූ සහන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලබන මස 03 වැනිදා සිට වෛද්‍ය වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ මට්ටමේ රජයේ නිලධාරීන්ට ලබාදුන් තීරු බදු සහන, වාහන බලපත්‍රය අහෝසි කිරීම, රාජ්‍ය සේවක මූලික වැටුප සංශෝධනය නොකිරීම, අතිකාල සහ ඩැග් දීමනාවටත් බදු අය කිරීම හා පරිසර හිතකාමී මෝටර් රථ ආනයනය කිරීම සඳහා අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ පිරිසටත් අයවැය තුළින් ඉහළ දැමූ බදු අදාළ කිරීම යන ගැටලු මූලික කරගනිමින් මෙම වැඩවර්ජනය කිරීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ මට්ටමේ රජයේ නිලධාරීන්ට ලබාදී තිබූ තීරු බදු සහන වාහන බලපත්‍රය අහෝසි කිරීම නිසා වෛද්‍යවරුන්ට ඇතුළුව වාහන බලපත්‍ර හිමි සියලුම දෙනාට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
පරිසර හිතකාමී මෝටර් රථ ආනයනය කිරීම සඳහා අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ සියලුම දෙනාට අයවැය මගින් ඉහළ දැමූ බදු ඇතුළත්ව තිබෙන බවත්, මේනිසා එක් මෝටර් රථයකට ලක්ෂ 25 කට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
මෙම ගැටලු මූලික කරගනිමින් අයවැයෙන් කප්පාදු කළ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා වැඩ වර්ජනයක් සිදුකළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිවයින පුරා පිහිටි ශාඛා සමිති 85 ඒකමතිකව තීරණයක් ගෙන තිබේ.
මේ අනුව මේ සතිය තුළ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට ඒකමතිකව තීරණයක් ගෙන තිබෙන අතර, මෙම තීරණයට අනුව ලබන මස 03 වැනිදා සමස්ත රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක් සිදුකිරීමට නියමිතය.