අයවැය කතාවෙන් රවී ලෝක වාර්තාවක් තියලා
අයවැය ඉදිරිපත් වූ දා පාර්ලිමේන්තුවේ සිදුවූ රසමුසු සිදුවීම්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 96 වැනි අයවැය 2016 වර්ෂය සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මෙරට 20 වැනි මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාය.
වත්මන් ජාතික ආණ්ඩුවේ මංගල අයවැය නිසාම මෙම අයවැය යෝජනාවලිය පිළිබඳව විශේෂයෙන්ම කතාබහට ලක්විණ.
දශක දෙකක් පුරාවට මුදල් අමාත්‍ය ධුරයේ ජනපතිවරයාම කටයුතු කිරීම නිසා ඉන් බැහැරව මුදල් අමාත්‍යවරයෙකු ඉදිරිපත් කළ අයවැයක් නිසාදෝ ඇතැම් විට ඇතැමුන්ගේ උද්යෝගය අඩු වී තිබෙනු දක්නට ලැබිණ.
එදින පාර්ලිමේන්තුව ආරම්භයේම පාර්ලිමේන්තු සභා ගර්භයේ සුළු වෙනස්කම් කිහිපයක් සිදුවී තිබිණ. එනම් කලින් විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පසුව අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් සරත් අමුණුගම මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පළමු පෙළ අසුනක් හිමිව තිබිණ.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඉල්ලා අස්වූ තිලක් මාරපන මන්ත්‍රීවරයාට හිමිව තිබුණේ ආණ්ඩු පක්ෂයේ පසු පෙළ අසුනකි.
එදින පාර්ලිමේන්තුව ආරම්භ වූයේ ප.ව. 2.00ටය. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ විශේෂ මන්ත්‍රීවරුන් රැසක් සභාගැබට එක්ව සිටියහ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප.ව. 2.03 ට පමණ සභාගැබට පැමිණි අතර, ආණ්ඩු පක්ෂයේ උණුසුම් පිළිගැනීමත් සමග 2016 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර මුල් පැය තුළ සියලුදෙනා උද්යෝගයෙන් එය අසා සිටින බව පෙනුණද, ඉන්පසුව එම උද්යෝගය කෙමෙන් කෙමෙන් අඩුවන බව නිරීක්ෂණය විය.
රවී කරුණානායක මහතා අයවැය කතාව ප.ව. 2.03 ට පමණ ආරම්භ කළ අතර, එය අවසන් වන විට ප.ව. 6.24 විය. මේ අතරතුර නොනවත්වාම ඔහු සිය කතාව පැවැත්වූ අතර, වරෙක කථානායක කරු ජයසූරිය මහතා මුදල් අමාත්‍යවරයාගෙන් විවේකයක් අවශ්‍යදැයි විමසුවේය. එවිට එය අනවශ්‍ය යැයි පවසා ඇමතිවරයා දිගින් දිගටම කතාව පැවැත්වීය.
අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේ කථානායකවරයා සහ මුදල් අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම සභාගැබේ සිටිය යුතුය. පිටතට යාමට අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුව මඳකට නතර කළ යුතු වේ.
නමුත් මෙවර එය සිදුනොවීය. ඒ නිසාමදෝ කථානායකවරයා සහ මුදල් අමාත්‍යවරයා හැර අනිත් සියලුම මැති ඇමතිවරු වරින් වර සභාගැබෙන් පිටතට පැමිණියහ.
ජනාධිපතිවරයාගෙන් බැහැරව මුදල් අමාත්‍යවරයෙකු අයවැය කතාව සිදුකරන නිසාදෝ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්රීන්ද එය එතරම් ගණනකට නොගෙන පාර්ලිමේන්තුවේ සභාගැබෙන් පිටතට යනු එනු දක්නට ලැබිණ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සභාගැබට පැමිණි අතර, සුළු වේලාවකින් ඔහු සභාගැබෙන් පිටව ගියේය. එසේ යන අතරතුර මුදල් අමාත්‍යවරයා කියන කිසිදෙයක් ඔහුට නොතේරෙනවා යැයි මාධ්‍යයට පවසා සිටියේය.
මේ අතර අයවැය කතාව සිදුකරන අතරතුර සභාගැබෙන් පිටතට පැමිණ මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විවිධ අදහස් ඔවුනොවුන් අතර හුවමාරු කරගත්හ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනාගෙන් අයවැය කොහොමද යැයි විමසන විට ඔවුන් ඒ අවස්ථාවේ සිනහවෙමින් පැවසුවේ %මොනවද මේ කියන්නේ කිසිදෙයක් තේරෙන්නේ නැහැනේ^ යනුවෙනි.
%රවීගේ කතාවේ සිංහල පිටපතක් ඉල්ලාගන්න ඕන.. ඒ කතා කරපු භාෂාව තේරුණේ නැහැ^ යැයි වරෙක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සිනහවෙමින් කීය.
මේ පිළිබඳ වැඩි වශයෙන් කතාබහ කරන ලද්දේ මන්ත්‍රීවරුන්ගේ භෝජන ශාලාව තුළදීය. %අනේ පව් අර මනුස්සයා හොඳට දුක් විඳිනවා^ එක් ඇමතිවරයෙකු පැවසූවිට මන්ත්‍රීවරු ඇමතිවරු සිනහවෙමින් එයට විවිධ වදන් එක් කළහ.
%අද රවී ලෝක වාර්තාවක් තියන්න හදනවා... අපේ සුභපැතුම්^ එලෙස පැවසුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකි.
ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ආණ්ඩු පක්ෂ ඇමතිවරයෙකුගෙන් එතැන සිටි විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැය කොහොමද කියා විමසීය.
%මම බොහොම අවධානයෙන් අහගෙන හිටියා... තේරුම් ගන්න බොහොම උත්සාහ කළා... ඒ භාෂාව දන්නෙ නෑ මම... ඒ නිසා එළියට ආවා... ගෙදර ගිහින් මේක කියවගන්න උත්සාහ කරනවා^ යැයි ඔහු පැවසුවේ සිනහ වෙමිනි.
%අයවැය කියද්දි කවද්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එළියෙ හිටියෙ... මේ පළවෙනි වතාවට මන්ත්‍රීවරු එළියෙ... ඒකෙන්ම තේරෙනවනේ අයවැය කොහොමද කියලා...^ පාර්ලිමේන්තු සංකීර්ණයේදී තවත් මන්ත්‍රීවරයෙකු එලෙස කීය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ අයවැය කතාව සිදුකිරීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ට තේ පැන් සංග්‍රහයක් ලබාදෙන අතර, එය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරය තුළය.
නමුත් මෙවර අයවැයේදී එම සම්ප්රදාය කඩවූවාදැයි සිතෙයි. මන්ද මුදල් අමාත්‍යවරයා අයවැය කතාව සිදුකරන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැති ඇමතිවරුන් පිරිසක් සමග භෝජනාගාරයට පැමිණි අතර, ඉන්පසු තේ පැන් සංග්‍රහය ආරම්භ විය. ඉන් සුළු වේලාවකට පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම ස්ථානයට පැමිණියේය. ඒ වනවිටත් මුදල් අමාත්‍යවරයා අයවැය කතාව සිදුකරමින් සිටි අතර, කථානායකවරයාද සභාගැබේ සිටියේය.
අයවැය කතාව හමාර කර කථානායකවරයා සහ මුදල් අමාත්‍යවරයා තේ පැන් සංග්රහටයට පැමිණෙන විට ජනපති අගමැති ඇතුළු බොහෝ මන්ත්‍රීවරු තේ පැන් සංග්‍රහය භුක්තිවිඳ එතැනින් පිටවගොස් සිටියහ.
එදින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු එලෙස අවසන් වූ අතර, අයවැය විවාදය ඊට පසුදිනම (21දා) ආරම්භ විය. ඒ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නැඟී සිටිමින් ප්‍රකාශ කරන ලද්දේ ලෝකයේ දිගම අයවැය කතාව සිදුකරමින් ලෝක වාර්තාවක් තැබූ මුදල් ඇමතිතුමාට අපේ සුභපැතුම් යනුවෙනි.
එවිට සියල්ලෝම සිනාසුණහ. නොනවත්වා එක දිගට පැවැත්වූ දිගම අයවැය කතාව මෙය වනු ඇති බවට තානාපතිවරුන්ද තමාට පැවසූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැවසීය.