2015 වසරේ සැප්තැම්බර් සිට 2016 වසරේ ඔක්තොබර් 10 වැනිදා දක්වා අමාත්‍යාංශ පවත්වාගෙන යෑමට කුලී පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිලි සඳහා මාසික බදු කුලී ගෙවීම සඳහා රුපියල් මිලියන 149.698ක්ද, අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා රුපියල් මිලියන 1,006.975ක්ද රජය විසින් දරා ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) අනාවරණය විය.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය මාසික කුලිය වශයෙන් රුපියල් මිලියන 24.570ක්ද, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 11.331ක්ද, සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය රුපියල් මිලියන 11.958ක්ද, කාන්තා හා ළමාකටයුතු අමාත්‍යාංශය රුපියල් මිලියන 14.05ක්ද වශයෙන් වැයකර ඇතැයි මෙහිදී අනාවරණය විය.
මෙම අමාත්‍යාංශ අතරින් කෘෂිකර්ම අමාත්‍යාංශය මාස 11ක් තිස්සේ මාසික කුලිය වශයෙන් රුපියල් මිලියන 24.5 බැගින් ගෙවා ඇතත්, එම ගොඩනැගිල්ල වසා දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වාදුන් අතර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා සඳහන් කළේ විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානයට මෙම කරුණ යොමුකරවන බවයි.
කුලීපදනම මත පවත්වාගෙන යන ගොඩනැගිලි පිළිබඳ නලින්ද ජයතිස්ස මහතා මුදල් ඇමතිවරයාගෙන් විමසා තිබූ පැනයකට පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් විය.
එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විසින් කුලී පදනම මත ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ 34ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක් සම්බන්ධව සහ රජයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ 25ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 11ක් සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.