ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරෙන සිවුවැනි රෝහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමට බළන්ගොඩ ප්‍රදේශයේ ජීවත්වන වියපත් යුවළක් කටයුතු කර තිබේ.
බලංගොඩ මැදබැද්ද ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ආයුර්වේද රෝහලක් බවට පත්කරමින් ඒ සදහා අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම මෙම වියපත් යුවළගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30දා) ආරම්භ විය.
මැදබැද්ද ප්‍රදේශයේ දානපති යුවළක් වූ කේ.එම්. පියසේන සහ ඒ.එම්. පුංචි මැණිකේ යන දෙපළ විසින් මෙම සද්කාර්යය සඳහා බැරපැන දරන අතර, ඒ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 3.5 කි.
මීට පෙර ඔවුන් කල්තොට දිසා රෝහල සඳහාද රුපියල් හැත්තෑපන් ලක්ෂයක් පමණ වැයකර භික්ෂු වාට්ටුවක්, පිරිමි හා ගැහැණු වාට්ටු වශයෙන් ගොඩනැගිලි 03 ක් ඉදිකර භාර දී තිබේ.