බැඳුම්කර වංචාව වසාගැනීමට මෙන්ම සමෘද්ධි සහනාධාරය කපා දැමීම හරහා ආණ්ඩුවට එල්ල වී ඇති ජනතා විවේචන වෙනත් අතකට යොමුකිරීම සඳහා ආණ්ඩුව නැවතත් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් මර්දනය ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘අද’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
සිය අත්වල ලේ ගෑවී නොමැති බවත්, කිසිවිටෙකත් සිය පවුල වංචා හෝ දූෂණ සිදු කර නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“බැඳුම්කර වංචාව වසාගැනීමටත්, බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ පාඩුව වසා ගැනීමටත්, සමෘද්ධි සහනාධාරය කපා හැරීම නිසා එල්ල වූ ජනතා විරෝධය මගහරවාගැනීමටත් නැවතත් ආණ්ඩුව රාජපක්ෂවරුන් මර්දනය කිරීමට ආරම්භ කර තිබෙනවා. සතියක් තුළ ප්‍රකාශ ලබාගැනීම සඳහා අපේ පවුලේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීමෙන් මේ බව පැහැදිලි වෙනවා.
අපි මේ ගැන දැනගෙන හිටියා. මීට ඉහතදීත් අපි පැවසුවා බැඳුම්කරය වහගන්න අපිව ගෙනත් ප්‍රශ්න කරාවි කියලා. මෙමගින් ආණ්ඩුවේ පහත්භාවය මෙන්ම ආණ්ඩුවේ වැටීම පෙන්වනවා. අපේ අත්වල ලේ නෑ. අපි වංචා කර නෑ. අපි මේ සඳහා මුහුණදෙනවා.”
එසේම ආණ්ඩුවට දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍යනම් රාජපක්ෂ පවුලේ දේශපාලනය කළ පුද්ගලයන්ගේ පළිගන්නා ලෙසත්, දේශපාලනය නොකළ පුද්ගලයන්ගෙන් පළිගැනීම් නතර කරන ලෙසත් ඒ මහතා කියා සිටියේය.
“රාජපක්ෂවරුවන්ගේන් දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍ය නම් මගෙන් හා පියාගෙන් පළිගන්න. අපි ඒ සඳහා සූදානම්. නමුත් මගේ මව මෙන්ම මගේ සහෝදරයන් දෙදෙනා දේශපාලනයට සම්බන්ධ නෑ. ඔවුන්ගෙන් පළිගැනීම යහපාලනය නොවෙයි” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.