ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්ව ජීවත්විය යුතු බවත්, දෙරටම එකිනෙකාට උදව්කර ගත යුතු බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා සිටියේය.
ඉන්දීය අගමැතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (27දා) ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වමිනි. නායක දෙපළම එක්සත් ජාතීන්ගේ මහ මහා මණ්ඩලයේ 69 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටී.
දෙරටේ නායකයන් රටවල් දෙක අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී දෙරටටම වැදගත් වන කරුණු කිහිපයක්ම සාකච්ඡාවට බඳුන් වූ බව පැවසෙයි.
මෑතකදී ඉන්දීය අගමැතිවරයා සමග දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ඉන්දීය අගමැතිවරයා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක්‍රියාවලියේ වැදගත්කම මෙහිදී පිළිගෙන තිබේ.
එහිදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තම රජය ඕනෑම දේශපාලන පක්ෂයක් සමග, විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය සමග පවා ඕනෑම මොහොතක සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවයි.
එමෙන්ම, මේ වනවිටත් උතුරු පළාත් සභාව වෙනුවෙන් රජය සෑහෙන සහායක් ලබාදෙන බවත්, මෙම වසරේ අයවැයේදි රු.බිලියන 1.5ක මූල්‍ය දායකත්වයක් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
ධීවර ප්රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමේදී එහි සංවේදීතාව මත ඉතා පරිස්සමින් මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව නායක දෙපළම පිළිගෙන තිබේ.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා වෙත ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළකර ඇති අතර, එහිදී, ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ, "අපි එක්ව ජීවත් විය යුතුයි, එකිනෙකාට උදව් කරගත යුතුයි" යනුවෙනි.