කොල්ලකෑම් ඇතුලු අපරාධ ගනනාවකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (09දා) පස්වරුවේ නවගමුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
ඒ නිට්ටඹුව ප්රදේශයේදී යතුරු පැදියක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු සන්තකයේ තිබී මි.මි.09 වර්ගයේ පිස්තෝලයක් හා පතුරම් ගැබක්, ජීව උණ්ඩ 08ක් හා මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණි අවියක් සමඟ ඒ සඳහා භාවිතා කරන උණ්ඩ 01ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම ඒකකය සඳහන් කරයි.
මෙම සැකකරු සූරියආර, තණමල්විල ප්රදේශයේ පදිංචි 39 වියේ පසුවන පුද්ගලයෙකි.
මේ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විර්ශනවලදී පිටකොටුව, ජාඇල, කෑගල්ල, දවුලගල යන පොලිස් වසම්වල සිදුකල කොල්ලකෑම් හා දේපල සොරා ගැනීම ඇතුලු අපරාධ රැසකට අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවත් එම පොලිස් ඒකකය පවසයි.
ඒ අනුව සැකකරු අද (10දා) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.