ඉකුත් 10 වැනිදා සිට 16 වැනිදා දක්වා සිදු වූ මාරක රිය අනතුරු 50 ක් නිසා 53 දෙනෙකු මියගොස් ඇත.
ඒ අනුව ගෙවීගිය සතියක කාලයක් තුළ සිදු වූ රිය අනතුරු හා දියේ ගීලී මියයාම්, අබිරහස් ලෙස මිය යාම් ඇතුළු විවිධ හේතු නිසා පුද්ගලයන් 74 දෙනෙකු මියගොස් තිබේ.
රිය අනතුරු හේතුවෙන් පසුගිය 12 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ ජාතික රෝහලට පුද්ගලයන් 226 දෙනෙකු ඇතුළත් වී තිබෙන අතර, එම කාලය තුළ ජාතික රෝහලට ඇතුළත් වී ඇති මුළු ප්රමාණය 938 කි.
එයින් 430 දෙනෙකු රෝහල තුළ නේවාසිකව ප්රතිකාර ලබාගන්නා බවද එම රෝහලේ හෙදියන් පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්යානි මෙනවිය සඳහන් කළාය.
පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී රෝහලට පැමිණි ප්රමාණය 8%කින් අඩු වී තිබෙන බවත්, නේවාසිකව ප්රතිකාර ලබාගත් ප්රමාණය
1%කින් අඩු වී තිබෙන බවත් ඇය පවසා සිටියාය.
එහෙත් රිය අනතුරු නිසා රෝහලට පැමිණි ප්රමාණය පසුගිය වසරට වඩා 17%කින් ඉහළ ගොස් තිබෙන බවද පුෂ්පා රම්යානි මෙනවිය සඳහන් කළාය.
රතිඤ්ඤා අනතුරු නිසා 05 දෙනෙකු රෝහලට ඇතුළත් වූ බවත්, වැටීම නිසා 212 දෙනෙකු, නිවසේදී සිදු වූ අනතුරු නිසා තුවාල ලැබූ 159 දෙනෙකු හා සේවා ස්ථාන අනතුරු නිසා 41 දෙනෙක්ද, ක්රීඩා අනතුරු නිසා 31 දෙනෙක්ද රෝහලට ඇතුළත් වූ බවද ඇය කියා සිටියාය.
එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (17දා) දිනය දක්වා කාලය තුළදී දියේ ගීලීම් සිද්ධි 06 ක් වාර්තා වී තිබෙන අතර, මේ නිසා පුද්ගලයන් 07 දෙනෙතකු මරණයට පත් වී තිබේ.
නවගමුව ප්ර‘දේශයේ සිදු වූ දියේ ගිලීමකින් මාස 08 ක දරුවෙකු මියගොස් තිබෙන අතර, හලාවත ප්ර‘දේශයේ සිදු වූ දියේ ගිලී යාම නිසා කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.
මීට අමතරව තණමල්විල ප්ර‘දේශයේ සිදු වූ අලි පහරදීමකින් එක් පුද්ගලයෙකුත්, විදුලි සැර වැදීම නිසා ස්ථාන දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකුත්, පිරිස් අතර ඇති වූ ආරවුල් සිද්ධි හතරක් හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකුත් මියගොස් තිබේ.
මීට අමතරව දොඩම්ගොඩ හා බෝමිරිය,අඟුරුවාතොට ප්ර‘දේශයෙන් අබිරහස් ලෙස මියගිය පුද්ගල මළසිරුරු තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර, ඌරගස්මන්හංදිය ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර, හැටන් යූනිහෝල්ස් වත්තේදී සිදු වූ බඹර ප්රහාරයකින්ද පුද්ගලයෙකු මියගොස් ඇත.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් රටපුරා ක්රියාත්මක කරන විශේෂ මෙහෙයුමේදී දින 07 ක කාලය තුළදී බීමත් රියදුරන් 1546 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් රියදුරන් 1546 දෙනාගෙන් 846 දෙනෙකු යතුරුපැදිකරුවන් වන අතර, 12 දෙනෙකු පෞද්ගලික මගී ප්රවාහන රථ රියදුරෝ වෙති. ඉන් තිදෙනෙකු ලංගම බස්රථ රියදුරන් බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීම යටතේ ත්රිරෝද රථ රියදුරන් 475 දෙනෙකු හා ලොරි රථ රියදුරන් 43 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.