සයිටම් ආයතනයට එරෙහිව අද (02දා) ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර තිබෙන හෙයින් ඒයට සහාය පළ කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් “සයිටම් විරෝධී ජනපවුර” ලෙස අද දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික ආයතන සේවකයන් කළු පටි පැලඳ සේවයේ නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛා ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා සඳහන් කර සිටියේය.
මෙම ජාතික විරෝධා දිනයට සමගාමීව අනුරාධපුරයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අද දිනයේ, අනුරාධපුර, තඹුත්තේගම, මැදවච්චිය, නොච්චියාගම, ගලෙන්බිඳුණුවැව, කැකිරාව යන නගර කේන්ද්‍ර කර ගනිමින් සයිටම් විරෝධී රැලි පවත්වනු ලබනවා. මේ වන විට සයිටම් ආයතනය සඳහා රජය ව්‍යාජ විසඳුම් ලබාදෙමින් සිටිනවා. එයට විරුද්ධව රටේ සියලුම දෙනා එක පවුරක් ලෙස පෙළ ගැසී තිබෙනවා. මෙම හොර උපාධි ආයතනය අහෝසි කරන තෙක් හෝ ජන සතු කරන තෙක් මෙවැනි විරෝධතා ක්‍රියාමාර්ග ඉදිරියේදී දිගින් දිගටම සිදුකරනු ලබනවා. යැයිද පැවසීය.
ජන පවුර සංවිධානයේ සාමාජික සුසන්ත කුමාර නවරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
රජරට වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විශේෂඥ වෛද්‍ය සංගමය, රජයේ දන්ත වෛද්‍ය සංගමය, පශු වෛද්‍ය සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය. නිදහස් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය, විශ්වවිද්‍යාල ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමය, දේශපාලන පක්ෂ, විශ්වවිද්‍යාල සිසුන් නියෝජනය කරමින් නියෝජිතයෝ මේ අවස්ථාවට පැමිණ සිටියහ.