අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක් සහනදායී මිලට විකිණීමට රජය තීරණය කර ඇති බවත් අනාගතයේ දී භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගියහොත් ඒ සඳහා සහන ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
එයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ සැණින් එම භාණ්ඩ 15 සඳහා සහන ලබාදීමට රජය කැප වී සිටින අතර සීනි, මයිසූර් පරිප්පු, අර්තාපල්, ලූණු, මිරිස්, සැමන්, මුංඇට, සුදු ලූණු, කඩල, හාල්මැස්සන් යනාදියත් එම භාණ්ඩ 15 ට ඇතුළත් වන බවත් වික්‍රමසිංහ මහතා පැවසූයේ අද(11දා) මැද කොළඹ - සුදුවැල්ල සහ බොරැල්ල යන ප්‍රදේශවල සංවිධානය කර තිබූ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන්වලට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය වේලාසනින් කැඳවූයේ ණය බර දරා ගැනීමට නොහැකි වූ නිසයි. රාජපක්ෂ රජය ලෝකයේ සෑම තැනකින්ම ණය අරගෙන තිබුණා. එසේ ගත් සමහර ණය අයවැය ලේඛනයටවත් ඇතුළත් කර තිබුණේ නැහැ. ගත් ණය කොපමණ දැයි අපවත් හරියට දන්නේ නැහැ. අප ආණ්ඩු බලය ලබාගෙන කටයුතු කරන විට එම ණය බර කොපමණ දැයි තේරුම් ගැනීමට හැකි වුණා. අප මුලින් දැනගෙන සිටියාට වඩා තවත් 40% ක පමණ ණය බරක් තිබෙන බව පසුව දැනගත්තා. අපට මේ ණය ගෙවාගත නොහැකිවේ යැයි සමහරුන් කල්පනා කළා. අපේ විරුද්ධවාදීනුත් එලෙස කල්පනා කළා.
සියලූම පක්ෂ එක් වී ජාතික ආණ්ඩුවක් ඇති කළත් ණය බර නිසා ආණ්ඩුව කඩා වැටේවි යැයි ඔවුන් කල්පනා කළා. අවුරුද්දක් යන්නට පෙර නැවත බලයට පැමිණ අලූත් ආණ්ඩුවක් හදනවා යැයි ඔවුන් වහසි බස් දෙඩුවත් එය කරන්නට නොහැකි වුණා. නමුත් මේ රටේ ණය ප්රශ්නය සාර්ථකව විසඳීම සඳහා මූලික පියවර ගැනීමට අපට හැකියාව ලැබුණා.
ණය ගෙවා අවසන් කළ පසු අපට අධ්‍යාපනය දියුණු කිරීමට, සෞඛ්‍ය සඳහා මුදල් වැඩි කිරීමට හැකියාව ලැබෙනවා. අපට වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීමට සිදුවූයේ ඒ නිසයි. අප මෙම පියවර ගත්තේ ණය ගෙවීම අත්‍යවශ්‍ය වන නිසයි. අපගේ තරුණ තරුණියන්ට අනාගතයක් තිබිය යුතුයි. අනාගත පරම්පරාව ණයකරුවන් බවට පත් කිරීමට අපට අවශ්‍යතාවයක් නැහැ. හෙට උපදින දරුවා ණයකරුවකු බවට පත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ජාතික රජයේ අරමුණ වන්නේ රාජපක්ෂ රජය ඉවක් බවක් නොමැතිව ලබාගත් ණය ගෙවා දමා හෙට උපදින දරුවාට යහපත් අනාගතයක් උදා කරදීමයි.
වැට් බදු අය කිරීමේ දී මෙවර අප වැට් බද්ද එකතු කිරීමේ ආදායම් මට්ටම පහත දමා තිබෙනවා. එම හේතුව නිසා වැඩි ව්‍යාපාරිකයන් පිරිසකගෙන් බදු අය කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එම වැට් බදු අය කරන ව්‍යාපාර සංඛ්‍යාව වැඩි වී ඇති හෙයින් වර්තමානයේ යම් යම් ප්‍රශ්න ඇති වී තිබෙනවා. ඔවුන්ටත් යම් යම් ප්‍රශ්න තිබෙන නිසා අප ව්‍යාපාරිකයන්ට දඩුවම් කරන්නට යන්නේ නැහැ. දඩ ගහන්න යන්නේ නැහැ. මෙම ක්රමයේ යම් යම් අඩුපාඩුකම් ඇති විය හැකියි. එම නිසා මෙම ක්‍රමයට හුරුවීම සඳහා අප තවත් කාලය ලබා දෙනවා. වැට් බද්ද එකතු කරන අතරතුර යම් යම් අඩුපාඩුකම් සිදුවූවාට දඩුවම් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අප උත්සාහ කරන්නේ වැට් බද්දට පළපුරුද්දක් ලැබුණු පසුව නීතියේ ඉතිරි වගන්ති ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණයි.
ව්‍යාපාරිකයන් ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මා හමුවී වැට් බද්ද පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන්ට ලබාදිය හැකි සහන කිහිපයක් පිළිබඳව අප දැන් තීරණයකට පැමිණ සිටිනවා. තම ලාභයට හානියක් නොවන අයුරින් පාලන මිල සංශෝධනය කිරීමට, ණය ලබාදීමට ආදී ඉල්ලීම් කිහිපයක් ව්‍යාපාරිකයන් අපෙන් කර තිබුණා. එම ඉල්ලීම් ලබාදීමට අප ක්‍රියා කරනවා. ව්‍යාපාරිකයන් පමණක් නොව මෙරට පාරිභෝගිකයන් පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. වැට් බද්ද ක්‍රියාත්මක කිරීමටත් පෙර භාණ්ඩ මිල වැඩි වුණා. බඩු මිල වැඩි වූ නිසා මෙරට ජනතාවගේ ආර්ථිකයට පහර වැදුණා. භාණ්ඩ මිල වැඩි වූයේ වැට් බද්ද නිසා දැයි ජනතාව අපෙන් ප්‍රශ්න කළා. මෙලෙස භාණ්ඩ මිල වැඩි වූයේ වැට් බද්ද නිසා නොවෙයි. එසේ නම් භාණ්ඩ මිල වැඩි වුණේ ඇයි? එලෙස භාණ්ඩ මිල වැඩි කළේ කවුද? ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අප ක්‍රියා කරනවා.
ඒ අතරම ජනතාවට කඩිනම් සහන ලබාදීම සඳහා අප තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. ඒ පිළිබඳව හෙට හෝ අනිද්දා කැබිනට් මණ්ඩලයෙන් දැනුම් දෙනු ඇති. අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක් සහනදායී මිලට විකිණීමට අප තීරණය කර තිබෙනවා. අනාගතයේ දී භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගියහොත් ඒ සඳහා සහන ලබාදීමට ආණ්ඩුව සූදානම්... කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ සැණින් එම භාණ්ඩ 15 සඳහා සහන ලබාදීමට රජය කැප වී සිටිනවා. සීනි, මයිසූර් පරිප්පු, අර්තාපල්, ලූණු, මිරිස්, සැමන්, මුංඇට, සුදු ලූණු, කඩල, හාල්මැස්සන් යනාදියත් එම භාණ්ඩ 15 ට ඇතුළත් වන බව මා මෙහිදී සඳහන් කරන්නට කැමතියි. හෙට හෝ අනිද්දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව ඉදිරිපත් කරාවි. ඒ අනුව සහන මිලට එම භාණ්ඩ ලබාදීමට අප කටයුතු කරනවා.