උද්ඝෝෂණවලට සහභාගි නොවන ලෙසට අධිකරණයෙන් පනවා තිබූ කොන්දේසිය උල්ලංඝනය කරමින් සිසු උද්ඝෝෂණවලට සහභාගි වූ බව කියන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15දා)නියම කළාය.
වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
උද්ඝෝෂණයක් සිදුකරමින් මහජන පීඩාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අධිකරණයට පැමිණි අතර, එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් සැකකරුවන්ට ඇප නියම කිරීමේදී මහජන පීඩා සිදු වන ආකාරයට උද්ඝෝෂණ සිදු නොකරන ලෙස කොන්දේසි පනවා ඇතැයි කීය.
එසේ නමුත් ඔවුන් එම කොන්දේසි උල්ලංඝනය කරමින් පසුගිය ජනවාරි මස 25 වැනිදා කොල්ලුපිටිය නගරයේදී මහජනතාවට පීඩාවක් සිදු වන ආකාරයට උද්ඝෝෂණයක් සිදු කොට ඇතැයිද, ඒ තත්ත්වය තුළ සැකකරුවන් අධිකරණ නියෝග උල්ලංඝනය සිදු කොට ඇති හෙයින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයිද ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ්භාරයට පත් කළ අතර, මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියම කළාය.