අවසර නොමැති මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කටයුතු සිදුකර ඡායාරූප ලබාගත් විදේශිකයන් සිවුදෙනෙකු සහ ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු තල්අරඹ වෙරළ තීරයේදී ඊයේ (22දා) නාවික හමුදාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්රා දෙකකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම අනවසර ඡායාරූප ලබාගැනීම සිදුකර තිබේ. නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඩිංගි යාත්රාවක්, කැමරාවක් (වතුර යට ඡායාරූප ලබාගන්නා), ඩිජිටල් කැමරාවක්, කිමිදීම සඳහා යොදාගන්නා පාවරල් යුගල් 05 ක් සහ මුහුණු ආවරණ 06ක්ද නාවික හමුදාවේ අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මිරිස්ස වනජීවී නිලධාරීන් වෙත බාර දී තිබේ.