යුද, නාවික හමුදාවන්ට සහ දැනට ඉතිරි වී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට එල්ලවී තිබෙන චෝදනා පිළිබඳව සාක්ෂි විමසීම සඳහා අතුරුදන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයට ආණ්ඩුව අවශ්‍ය බලතල ලබාදිය යුතු බව අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පැවසීය.
පසුගිය යුද සමයේදී යම් යම් සිද්ධි ඇතිවී තිබෙන කඳවුරුවලට ගොස් දැනට මහජනතාවගෙන් ලබාගෙන ඇති සාක්ෂි මත පදනම්ව ඉදිරි කටයුතු සිදුකළ යුතු බවත්, එම අවස්ථාවලදී කඳුවුරු භාරව සිටි නිලධාරීන්ගෙන්ද සාක්ෂි සටහන් කරගෙන නිගමනයන්ට එළඹිය යුතු බවත් පරණගම මහතා ප්‍රකාශ කළේය.
එසේ නොවුනහොත් ඒකපාර්ශ්වීය පරීක්ෂණයක් සිදුකළායැයි රජයට චෝදනා එල්ල වීමට ඉඩ තිබෙන බවද ඔහු කීය.
අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මේ වසරේ මැයි 15 වැනිදායින් අවසන් වූ බවත්, නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල මහජනතාවගේ සාක්ෂි එකතු කිරීමට ඉතිරිව තිබූ බවත් හෙතෙම පවසා සිටියේය.