මැලේසියානු ගුවන් සේවයට අයත් අතුරුදන් වූ MH370 යානය සෙවීමට ගැඹුරු මුහුදේ යොදාගත් සෝනාර් පරීක්ෂණ උපකරණයද අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීටර් 2,200ක් පමණ ගැඹුරු මුහුදේ සෝදිසි මෙහෙයුම්වලින් පසුව ඊයේ (24දා) එම උපකරණය යළි ඉහළට එසවීමේදී මඩ ගිනිකන්දක් සමග ගැටීමෙන් පසුව එම උපකරණය අතුරදන්ව තිබේ.
ඒ අනුව, මෙම සෝනාර් පරීක්ෂණ උපකරණය මෙන්ම, එය සම්බන්ධ කෙරුණු මීටර් 4,500ක් දිග කේබලයද මේ වනවිට මුහුදු පතුලේ තැන්පත් වන්නට ඇති බව එම පර්යේෂකයෝ පවසති.
ඔවුන් විශ්වාස කරන්නේ ඉදිරි දිනකදී මෙම සෝනාර් පරීක්ෂණ උපකරණය මෙන්ම, එම කේබලය යළි සොයා ගැනීමට හැකිවනු ඇති බවයි.
මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 යානය සොයා ලොව එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳව කිසිදු තොරතුරක් මුහුදු පත්ලෙන් සොයාගැනීමට මෙතෙක් නොහැකි විය.
යානය පිළිබඳ වූ එකම හෝඩුවාව වූයේ පසුගිය වසරේදී ප්රංශ රීයූනියන් දූපත වෙත ගොඩගසා තිබූ යානයේ පියාපත් කොටස පමණි.