අපරාධ පිළිබඳ සොයා බැලීමට හෝ නඩු පැවරීමට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට කිසිදු බලයක් නොමැති බවත් අදාළ තැනැත්තන්අ තුරුදන්වූවාද නැද්ද යන්න පිළිබඳ සොයා බලා සහතික ඉදිරිපත් කිරීම පමණක් එමගින් සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ ආරම්භ කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා,
“යුද සමයේදී මෙවැනි අතුරුදන්වීම් සිදුවුණා. ඒ පිළිබඳ නිසි සමීක්ෂණයක් අවශ්‍යයි. ආරක්ෂක අංශයේ 5000ක් පමණ අතුරුදන් වූ බව කියැවෙනවා. ඒ ගැන සොයා බැලීම වැදගත්. දකුණු අප්‍රිකාවේ ආභාසය ලබාගෙන සත්‍ය කොමිසමක් පිහිටුවීමේ අවශ්‍යතාවක් තිබෙනවා. අප සියලුදෙනා විසඳුමක් කරා යොමුවිය යුතුයි. අපි සියලුම දෙනා එක්වී එම විසඳුම සොයාගත යුතුයි* යැයි සඳහන් කර සිටියේය.
මෙහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් විවාදයට එක්ව සිට අදහස් දක්වා සිටියහ.
එම්.ඒ. සුන්දිරන් මහතා (දු.ජා.ස)
“ප්රතිසංවිධාන ක්‍රියාවලිය තුළ මෙම කාර්යාලය ආරම්භක පියවරක්. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකාවන් දුක්විඳිනවා. අතුරුදන් වූවන් සම්බන්ධයෙවන් රජයේ මූලික සමීක්ෂණයක් අවශ්‍යයි. මෙම යාන්ත්‍රණය ජාත්‍යන්තරය පිළිගත් ආකාරයට ක්‍රියාත්මකවීම ඉතා වැදගත්. ආරක්ෂක අංශ පමණක් නොවෙයි පුද්ගල අතුරුදන්වීම් සිදුකළේ. සෑම පාර්ශ්වයක් අතින්ම එය සිදුවුණා. එල්.ටී.ටී.ඊ යත් මෙවැනි අතුරුදන්කිරීම් සිදුකළා. සංහිඳියාව ගොඩනැගීමට නම් සත්‍ය නිරාවරණය කළ යුතුයි."
නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා,
“රජය තුළම සිටින ඇතැම් පාර්ශ්ව සංහිඳියාවට අකුල් හෙලන ප්‍රකාශ නිකුත් කරනවා. එය කනගාටුවට කරුණක්. නැවත වතාවක් රටතුළ අතුරුදන්වීම් සිදුනොවන ආකාරයේ පරිසරයක් ගොඩනැගීම වැදගත්. නැගෙනහිර පළාතේ ඇතැම් ඉඩම් හමුදාව විසින් අත්පත්කරගෙන තිබෙනවා. ඇතැම් ඉඩම්වල ඔවුන් හෝටල් ඉදිකර තිබෙනවා. ජනතාව සතු ඉඩම් නිති පරිදි යළි ඔවුනට ලබාදීම ඉතා වැදගත්"
බිමල් රත්නායක මහතා (ජ.වි.පෙ)
“ප්‍රතිපත්තිමය වශයෙන් අපි කාර්යාලයට එකඟයි. මේ හරහා අතුරුදන්වූන්ගේ පවුලේ අයට යුක්තිය ඉටුවේයැයි අප විශ්වාස කරන්නේ නෑ. නමුත් ඒ සඳහා උත්සාහයක් හෝ මේ හරහා ගැනෙන නිසා අපි එයට එකඟයි.
යුක්තිය ඉටු කරලීමේ කාර්යභාරය ජාත්‍යන්තර කරණයට ලක්නොවිය යුතුයි. එන්.ජී.ඕ. කරණයට හසු නොවිය යුතුයි. ජාතික සංහිඳියාව ගොඩනැගීමට අදාළ පියවර කිහිපයක්ම මේ රජය විසින් මග හරියා. මේ ආණ්ඩුව පත්වූ දින සිට සත්‍ය කොමිසමක් ගැන කතා කරනවා. නමුත් තවම එවැන්නක් පිහිටුවීමට අවශ්‍ය කිසිම පියවරක් ගෙන නැහැ. මෙවැනි කොමිසමක් හරහා සිදුවූ අසාධාරණකම් හා විපත් ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා"
කේ.ජේ. මස්තානා (එ.ජ.නි.ස)
“මේ රටේ වාර්ගික ප්රචණ්ඩත්වය ඇතිකරන්නට උත්සාහ දරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට සැවොම එක්විය යුතුයි. පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන විනාශ කරන්නේ මුස්ලිම් ජනතාව නොවෙයි. ඒවා කරන්නේ නිදන් හොරුන් බව ප්‍රකාශ කළ යුතුයි. මේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත යුතුයි."
විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා
“අතුරුදන් කිරීම මිනිමැරුමකටත් වඩා බරපතළ කාරණයක්. මිනී මැරුමකදී දඬුවම් දිය හැකියි. එහෙත් අතුරුදන් කිරීම්වලදී කරන්න දෙයක් නෑ. උතුරු නැගෙනහිර පැමිණිලි අනුව 20000ක් පමණ අතුරුදන් වෙලා. අපේ රටට සංහිඳියාවට හා මධ්‍යස්ථභාවය අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. කැත්තට පොල්ල මෙන් සිට ප්‍රශ්න විසඳන්න බෑ"
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංදචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා
“පසුගිය සමයේ පැමිණිලි පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ අරගල පැවති කාලයේ සිදුවූ අතුරුදන් කිරීම් පිළිබඳවත් අපට මෙමගින් සොයා බැලිය හැකියි. මෙය එක් ජන කොට්ඨාසයකට පමණක් සාධාරණය ඉටුකිරීමට පිහිටුවන කාර්යාලයක් නොවෙයි"
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
“අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත දඩමීමා කරගෙන කවුරුන් හෝ අයත්භාවයකින් කටයුතු කරයිනම්, ඒ අයට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. අතුරුදන් වූවන්ගේ කාර්යාලය කොළඹට පමණක් සීමා කරන්නේ නෑ. ඕනෑම තැනක ඒවා පිහිටුවන්න පුළුවන්. පුළුල් අවබෝධයකින් යුතුව මේ පනත ගැන කතා නොකරයිනම් ජනතාව වැරදි අවබෝධයකට පැමිණිය හැකියි"
නාමල් රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස)
“සංශෝධන හඳුන්වාදීම තුළින් මෙම පනතේ ව්‍යුහය වෙනස් වන්නේ නෑ. අගමැතිතුමා ආරම්භ කරමින් බොහොම සැහැල්ලුවෙන් කතා කළා. අපි කියන්නේ අතුරුදන්වූවන් ගැනත් සොයන්න. 88-89 ගැනත් සොයන්න කියලයි. පොලීසියට නැති බලයක් මෙම ආයතනයට ලැබෙනවා. මේ ආයතනයේ නිලධාරීන්ට සිවිල් හෝ අපරාධ අධිකරණයකට කැඳවන්න බැහැ. තොරතුරු පනත යටතේවත් මේ නිලධාරීන් ගැන සොයන්න බැහැ. අතුරුදන්වූවන් ගැන හෙව්වට අපට ගැටලුවක් නැහැ.හැබැයි එහි යම් අරමුණක් තිබෙනවානම්, රට තවත් අර්බුදයකට යොමු කරනවානම් අපි ඊට විරුද්ධයි"