නූගත්, අඥාන ඇතැම් මිනිසුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව අසත්යචෝදනා ඉදිරිපත් කරන්නේ යැයි ප්‍රශ්නගත බැඳුම්කර වංචාවට අදාළව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.
නූගත්, අඥාන ඇතැම් පුද්ගලයන් කරුණු නොදැන මෙලෙස අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේ යැයිද, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයෙන් පිටු 8600ක තොරතුරු උපුටා ගත්තද, පසුගියදා සාක්ෂි විමසීමට යොදා ගනු ලැබුවේ ඉන් පිටු 25ක පමණ ප්‍රමාණයක තිබූ තොරතුරු පමණකැයිද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම හමුවේ පැවසීය.
නමුත් කරුණු නොදත් ඇතැම් අය මේ සම්බන්ධයෙන් විවිධ තැන්වල අදහස් දක්වමින් නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයෙන් උපුටා ගත් පිටු 8600ක තොරතුරු පැය 48ක් තුළ විමර්ශනය කොට ඇති බව පවසා ඇතැයිද කෝදාගොඩ මහතා කොමිසමට පෙන්වා දුන්නේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියදී මේ කරුණු පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා තවදුරටත් කොමිසම අමතමින් පිටු 8600ක තොරතුරු ලබාගත්තද නිසි විමර්ශකයෙකුට තාක්ෂණය උපයෝගි කරගනිමින් අදාළ කොටස් පමණක් වෙන්කර ගැනීමට හැකියාව ඇතැයිද, ඒ සඳහා සියලුම පිටු විමර්ශනය කිරීමට අවශ්‍යතාවක් මතු වන්නේ නැතැයිද පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා මේ අවස්ථාවේදී කොමිසම අමතමින් කොමිසමෙන් පිටස්තර අය කී කතා සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම කොමිසමේදී කරුණු ඉදිරිපත් කරන්නේ යැයි කීය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊට පිළිතුරු දෙමින්, “මට එක එක තැන්වල ගිහිං මේ කරුණු කියන්න බැහැ. මට මේ කරුණු කියන්න තියෙන එකම තැන මේ කොමිසමයි. ඒ නිසයි මේ කරුණු මා කොමිසමට දැනුම් දුන්නේ" යනුවෙන් කියා සිටියේය.