අගමැතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකුට එරෙහිව පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවලියක් ගෙනඒම පිණිස ජාතික නිදහස් පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග සිදුකළ සාකච්ඡා සාර්ථක බවත්, එය වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට තරමේ හේතුවක් වනු ඇති බවත් එම පෙරමුණ විශ්වාසය පළකරයි.
විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙකුද සහාය දීමට එකඟතාව පළකර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක මහතා 'අද' ට පැවසීය. ඉදිරි සතියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට මේ වනවිට කටයුතු සූදානම් වන්නේ යැයි කී මන්ත්‍රීවරයා,
"දින සියයක් ක්‍රියාත්මක කර මේ රටේ මර්දනය පටන් අරගෙන, ජනතාවට පීඩා කරමින්, ප්රජාතන්ත්රවාදය අහිමි කරමින්, වංචා, දූෂණ නැති කරන්නට ආ ආණ්ඩුවේ බරපතළ හා ලොකුම වංචාව කරලා තියෙන්නේ අගමැති රනිල් වික්රමසිංහයි, එයාගෙ ගෝලයොයි. ඒ කියන්නෙ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ උවමනාවට තමයි වංචා දූෂණ කරලා තියෙන්නේ. වංචා, දූෂණ කරන ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අපි ඉඩදෙන්නේ නැහැ.
ඒ නිසා අපි අගමැතිට විරුද්ධවත්, ඊට අමතරව ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකුගේ ක්‍රියාකාරීත්වයට එරෙහිවත් ඉදිරි සතියේදී විශ්වාසභංග යෝජනා සහ අනෙකුත් විරෝධතා කටයුතු ආරම්භ කරනවා. ඒක අපි ආරම්භ කරලා නවත්වන්නෙ නැහැ. මේ ආණ්ඩුව ගෙදර යැවීම දක්වා සම්පූර්ණ කරලා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා. ඊට ක්‍රියාමාර්ග ගන්න ඒකාබද්ධ විපක්ෂය මේ සඳහා එකඟතාව පළකර තිබෙනවා. විපක්ෂයට අයත් සියලු පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරමින් යනවා.
මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. මහජන එක්සත් පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා. මෙතෙක් අප කළ සාකච්ඡා සාර්ථකයි. ඒ නිසා ඉක්මනින්ම මේ තීන්දුව ක්‍රියාවට නගන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි සම්පූර්ණ කරනවා. පාර්ලිමේන්තුවේ විශාල ගණනක් මේ සඳහා දායකත්වය සපයනවා. ඒ වගේම මේකට එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකුත් සහාය දීමට සූදානමින් සිටිනවා" යනුවෙන්ද ප්‍රකාශ කළේය.