ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ මෛත්‍රී පාලනයක් ගෙන යනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුව වෛරී පාලනයක් ගෙනයමින් තිබෙන බවත්, මේ නිසා අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙනඑන විශ්වාස භංග යෝජනාව ජුනි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම මහතා සඳහන් කළේය.
ඊයේ (29දා) අභයාරම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් 130 දෙනෙකු අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවයි.
මේ අනුව ඊයේ වනවිට මහජන නියෝජිතයන් 85 දෙනෙකු එයට අත්සන් තබා තිබෙන බවත්, විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එදින සිට මේ පිළිබඳ ජනතාව දැනුවත් කර ජනමතයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
දින 100 වැඩපිළිවෙළ තුළ ජනතාවට සහන සලසන බවට වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුවද, ඔවුන් එම කාලය තුළ සිදුකළේ වෛරී දේශපාලනය සිදුකිරීම බවත්, මෙම වෛරී දේශපාලනය තුළ පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවට පත්කර රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයා විසින් සිදුකළ යුතු කටයුතු සිදුකරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
දින 100 වැඩපිළිවෙළ යටතේ වූ පොරොන්දු ජනතාවට ඉටුකරනවාදැයි බලා සිටියද එය සිදුනොවූ බවත්, මේ නිසා තවත් දින 50 ක බෝනස් කාලයක් ඔවුන්ට ලබාදුන් බවත් ඔහු පවසා සිටියේය.
එම කාලයෙන්වත් ප්‍ර‘‘යෝජන ගැනීමට කටයුතු නොකළ නිසා ජුනි 09 වැනිදා සිට වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමට අවශ්‍ය කටයුතු සිදුකර මෛත්‍රී - මහින්ද යුගයක් ඇති කරන බවද හෙතෙම සඳහන් කළේය.