වර්ෂ 2011 දී තිරගත වූ 'කැප්ටන් ඇමෙරිකා - ද ෆර්ස්ට් ඇවෙන්ජර්' (Captain America: The First Avenger) චිත්‍රපටය ඔබට මතකද? ඩිස්නි සහ මාවෙල් චිත්‍රපට සමාගම් එකතුව නිර්මාණය කළ එම චිත්‍රපටය වර්ෂ 2011 දී ලොව පුරා ආදායම් වාර්තා තබමින් තිරගත වුණි. එම චිත්‍රපටය ලොව පුරා ඉපයූ ආදායම ඇ.ඩො.මිලියන 370 කි. එය නිෂ්පාදනය කිරීම සඳහා වැය වූයේ ඇ.ඩො.මිලියන 140ක් පමණි. ඉන්පසු වර්ෂ 2012 දී තිරගත වූ 'දි ඇවෙන්ජර්ස්' (The Avengers) චිත්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ තෙවැනි ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය ලෙස වාර්තා විය. එය ලොව පුරා උපයන ලද ආදායම ඇ.ඩො.බිලියන 1.5කි. 'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටය සුපිරි වීරයන් කිහිප දෙනෙකුගේ එකතුවක් ලෙස තිරගත වුණි. එම සුපිරි වීරයන් අතර අයන්මෑන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, තෝර් සහ කැප්ටන් ඇමෙරිකාද විය. මාවෙල් චිත්‍රපට සමාගම 'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටයට පෙර එහි පැමිණි චරිත ඇතුළත් කර වෙන වෙනම චිත්‍රපට නිපදවන ලදී. 'අයන් මෑන්' 1 සහ 2 (Iron Man 1 & 2), 'දි ඉන්ක්‍රෙඩිබල් හල්ක්' (The Incredible Hulk) සහ 'තෝර්' (Thor) යන චිත්‍රපට ඒ අතර විය. 'කැප්ටන් ඇමෙරිකා' පළමු චිත්‍රපටය නිපද වූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙම චිත්‍රපට සියල්ල තිරගත වීමෙන් අනතුරුව එම චරිත සියල්ල එක්කර 'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටය නිපදවනු ලැබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ලොව තෙවැනි ඉහළම ආදායම ලැබූ චිත්‍රපටය ලෙස 'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටය පත්වීමයි.
ඩිස්නි හා මාවෙල් සමාගම්වලට ධන උල්පතක් වූ සුපිරි වීර චරිත
'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටය ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගත් චිත්‍රපටයක් විය. චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේක්ෂක වර්ගීකරණය වූයේ 'A+' ය. 'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටයෙන් පසු ඩිස්නි සහ මාවෙල් චිත්‍රපට සමාගම් නැවත වරක් එම චරිත සියල්ල වෙන වෙනම ගෙන චිත්‍රපට නිපදවන්නට විය. මන්දයත්, මෙම චරිත සියල්ලම එම චිත්‍රපට සමාගම් සඳහා ධන උල්පතක් වී ඇති බැවිනි.
ඒ අනුව, පසුගිය වසරේදී 'දි අයන් මෑන් 3' චිත්‍රපටයද, 'තෝර්' චිත්‍රපටයේ දෙවැනි කොටසද තිරගත විය. මෙම චිත්‍රපට දෙකම ආදායම් වාර්තා තබමින් ලොව පුරා තිරගත විය. 'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටය ලැබූ ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරය 'අයන් මෑන් 3' සහ 'තෝර් - ද ඩාර්ක් වර්ල්ඩ්' යන චිත්‍රපටවල සාර්ථකත්වයට බෙහෙවින් බලපෑ ඇත. එය සිනමා විචාරකයන් හඳුන්වන්නේ 'දි ඇවෙන්ජර්ස් ඉෆෙක්ට්' (The Avengers Effect) වශයෙනි.
මෙම චරිතවල තවත් දිගුවක් වන්නේ 'කැප්ටන් ඇමෙරිකා' චිත්‍රපටයේ දෙවැනි කොටස වන 'කැප්ටන් ඇමෙරිකා - ද වින්ටර් සෝල්ජර්' (Captain America: The Winter Soldier) චිත්‍රපටයයි. එය දිගහරිනු ලබන්නේ 2011 තිරගත වූ 'කැප්ටන් ඇමෙරිකා -ද ෆර්ස්ට් ඇවෙන්ජර්' චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසය.
ඩිස්නි සහ මාවෙල් චිත්‍රපට සමාගම් 'කැප්ටන් ඇමෙරිකා - ද වින්ටර් සෝල්ජර්' චිත්‍රපටය නිපදවීම සඳහා ඇ.ඩො.මිලියන 175ක් වැයකර ඇත. එමෙන්ම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහාද තවත් ඇ.ඩො.මිලියන ගණනක් වියදම් කරනු ඇත. මොවුන් මෙවැනි අවදානමක් ගෙන මුදල් වියදම් කරනු ලබන්නේ මෙම චරිත සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක ඉල්ලුමක් ඇති බව දැනගෙනය.
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් පරදා ඉදිරියට පැමිණි කැප්ටන් ඇමෙරිකා
චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඇමෙරිකාව තුළත්, ඊට පෙර සති අන්තයේදී ලොව සමහර රටවලත් තිරගත වීම ඇරඹුණි. බලාපොරොත්තු වූ පරිදිම චිත්‍රපටය වාර්තා තබමින් තිරගත වීම ආරම්භ වී ඇත. ලෝක සිනමා ඉතිහාසයේ අප්‍රේල් මාසය තුළ සති අන්තයක් තුළ වාර්තා කළ ඉහළම ආදායම ලැබීමට 'කැප්ටන් ඇමෙරිකා - ද වින්ටර් සෝල්ජර්' චිත්‍රපටය සමත් වී ඇත. පසුගිය සති අන්තයේ ඇමෙරිකාව තුළ පමණක් චිත්‍රපටය ඉපයූ ආදායම ඇ.ඩො.මිලියන 96 කි. එය බිඳ දමනු ලැබුවේ සුප්‍රකට 'ෆාර්ස්ට් ඇන්ඩ් ෆියුරියස්' (Fast and Furious) චිත්‍රපට මාලාවේ පස්වැනි කොටස වර්ෂ 2011 දී පිහිටවනු ලැබූ ඇ.ඩො.මිලියන 86ක ආදායම් වාර්තාවයි.
කැප්ටන් ඇමෙරිකා ලොව පුරා ආදායම ඇ.ඩො.මිලියන 700 ඉක්මවාවි
'කැප්ටන් ඇමෙරිකා - ද වින්ටර් සෝල්ජර්' චිත්‍රපටය මේ වනවිට ලොව පුරා උපයා ඇති ආදායම ඇ.ඩො.මිලියන 303 කි. පසුගිය සති අන්තය තුළ චීනය තුළ පමණක් චිත්‍රපටය ලැබූ ආදායම ඇ.ඩො.මිලියන 39 කි. එයද චීනය තුළ වාර්තාවකි. ජපානය, බ්‍රසීලය වැනි රටවල චිත්‍රපටය තවමත් තිරගත වීම ආරම්භ වී නැත. මේ අනුව බලන විට චිත්‍රපටයට ලොව පුරා උපයාගත හැකි ආදායම ඇ.ඩො.මිලියන 700 ඉක්මවා යනු ඇත. අප හට මෙම අනාවැකිය පළකළ හැකි වන්නේ චිත්‍රපටය සඳහා ලැබී ඇති ප්‍රේක්ෂක වර්ගීකරණය හේතුවෙනි. එය 'A' වර්ගීකරණයක් ලෙස හැඳින්වේ. ඒ අනුව, කටින් කට චිත්‍රපටය පිළිබඳ හොඳ ප්‍රචාරය වීමත් සමගම චිත්‍රපටය ඉදිරියේදීත් වාර්තා තබමින් තිරගත වනු ඇත.
එමෙන්ම, චිත්‍රපටයේ විශේෂත්වය වී ඇත්තේ පළමු චිත්‍රපටය මෙන් නොව, දෙවැනි චිත්‍රපටය වර්තමානය පාදක කරගෙන නිපද වී තිබීමය. පළමු චිත්‍රපටයට පාදක වූයේ දෙවැනි ලෝක සංග්රාම කාලවකවානුවකි. එමෙන්ම චිත්‍රපටය සඳහා සහාය චරිත කිහිපයක්ම එකතු කරගෙන ඇත. 'දි ඇවෙන්ජර්ස්' චිත්‍රපටයේ සිටි 'බ්ලැක් විඩෝ' ඉන් ප්‍රධානය.
මේ අනුව බලන විට 'කැප්ටන් ඇමෙරිකා - ද වින්ටර් සෝල්ජර්' චිත්‍රපටය ඩිස්නි සහ මාවෙල් චිත්‍රපට සමාගම්වලට දැනටමත්ම ධන උල්පතක් බවට පත්වී ඇත.
ADA Film Review - ෂමිල පෙරේරා / ජගත් ජයරත්න