BRC මැයි රැළියට වරාපිටිය විදුහලෙන් ළමුන් ගෙනත්?
අම්පාර, මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් පසුගිය මැයි පළමු වැනිදා කොළඹ බී.ආර්.සී පිටියේ පැවැති මැයි රැලියකට පාසල් සිසුන් තිස්දෙනෙකු සහභාගි කරවීම පිළිබඳව මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම මැයි රැලියට සහභාගි වූ දරුවෙකුගේ පියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහඔය කලාප අධ්‍යාපන අධ්යක්ෂ කේ.බී. ධර්මදාස මහතා මේ පිළිබඳ සොයාබලා තිබේ.
එහිදී පාසලේ ගුරුවරයෙකු විසින් තමන්ව මැයි රැලියට අරගෙන ගිය බවට සිසුන් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට ලිඛිතව සාක්ෂි ලබාදී තිබේ.
අදාළ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු සහ ගුරුවරියක විසින් තමන් රැගෙන ගිය බවට මෙම රැලියට සහභාගි වූ සිසුසිසුවියන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලබාදෙන ලද ලිපියේ සඳහන්ව තිබේ. එමෙන්ම මැයි රැලියට සහභාගි වූ දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක මුදලක්ද අයකර ගෙන තිබේ.
එම සිසුන් පිරිස පසුගිය අප්‍රේල් 30 වැනිදා පස්වරුවේ වරාපිටිය සිට කොළඹ බලා පිටත්ව ගොස් ඇති අතර, එදින අලුයම කොළඹට ළඟාවීමෙන් අනතුරුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබේ.
අප මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයීය විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, පාසලේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා අතර, මේ පිළිබඳව සියලු තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට දැනුම් දුන් බවයි.
පසුව මේ සම්බන්ධයෙන් අප මහඔය කලාප අධ්‍යාපන අධ්යක්ෂ කේ.බී. ධර්මදාස මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ, දෙමව්පියන්ගෙන් ලැබුණු තොරතුරක් මත තමන් මේ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට වරාපිටිය විදුහලට ගිය අවස්ථාවේ විදුහලේ ගුරුවරයෙකු තමන්ට පහරදීමට පැමිණි බවත්, තමන් ඒ සම්බන්ධයෙන් සිසුන්ගෙන් ලිඛිත සටහන් ලබාගත් බවත්ය.
මේ පිළිබඳව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් අසංක අබේවර්ධන මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ, මේ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු පත්කර දැනට පරීක්ෂණයක් කර ඇති බවත්, එම වාර්තාව ලැබුණු පසු මේ පිළිබඳ විනයානුකූල පියවරක් ගන්නා බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

