(UPDATE) පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු යානයේ සුන්බුන් යැයි විශ්වාස කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් චීන රජයේ වෙබ් අඩවිය නිකුත් කර තිබේ.
දකුණු චීන මුහුදේ විශාල යමක් පාවෙන ආකාරය දැක්වෙන ඡායාරූප 3ක් මෙසේ චීන රජයේ වෙබ් අඩවිය නිකුත් කර ඇත. කෙසේ වෙතත් මීට පෙර මෙවැනි සුන්බුන් යැයි විශ්වාස කළ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී එය ඵල රහිත විය.
ඊයේ සවස් වනවිට වාර්තා වූයේ මෙසේය.
'All right, roger that' (සියල්ලම නිවැරදියි, මට ඔබ ඇසුණා) යනු පසුගිය සෙනසුරාදා සිට තවමත් සොයාගැනීමට නොහැකි වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය අතුරුදන් වීමට මිනිත්තුවකට පෙර එහි නියමුවන්ගෙන් අවසන් වරට ලැබුණු රේඩියෝ පණිවුඩය බව එරට බලධාරීහු පවසති.
මැලේසියානු ගුවන් පාලන කුලුනින් ලබාදුන් රේඩියෝ පණිවුඩයට පිළිතුරු වශයෙන් MH370 යානයේ නියමුවන් 'All right, roger that' යනුවෙන් පවසා ඇත.
කෙසේ වෙතත්, මේ වනවිටත් යානය සොයා ගැනීමට නොහැකි වීම තුළ දැඩි උභතෝකෝටිකයක් මැලේසියානු බලධාරීන් වෙත මෙන්ම, ලෝකය පුරාම ඇතිකර තිබේ.
එමෙන්ම, යානය සෙවීමේ මෙහෙයුම් සිදුකරන කලාපය තවදුරටත් පුළුල් කර ඇති බවද මැලේසියානු බලධාරීහු අවධාරණය කළහ.
මේ අතර, යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බටහිරට ගමන් කරමින් තිබූ බවට මඟ හඳුනාගැනීමක් ඇතැයි යනුවෙන් මීට පෙර පළ වූ වාර්තාව මැලේසියානු ගුවන් හමුදා ප්‍රධානියා අද දිනයේ ප්‍රතික්ෂේප කර තිබේ.
බෝයිං 777 වර්ගයේ ලොව ඉහළම විශ්වාසයක් හා ආරක්ෂාවක් පිළිබඳ කියැවෙන මෙම යානය පසුගිය සෙනසුරාදා පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ අතර, එහි ගමන්ගත් වැඩි පිරිසක් චීන ජාතිකයෝ වූහ.