මධ්‍යම පළාත තුල ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.1.එන්.1. වෛරස් රෝගය සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බවත් , මේ වන විට ගැබිනි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 17 දෙනෙකු මිය ගොස් ඇති බවත්, තවත් තහවුරු කර ගත් රෝගීන් 115 දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටින බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළාය.
මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ මෙම රෝගයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර මේ වන විට මහනුවර දිස්ත්රික්කෙයන් ගැබිණි කාන්තාවක් ඇතුළු මරණ 12 ක්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ගැබිණි කාන්තාවක් ඇතුළුව මරණ පහක්ද වාර්තා වී තිබේ. මහනුවරි දිස්ත්‍රික්කයෙන් රෝගීන් 40 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 73 දෙනෙකුද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් දෙදෙනෙකු ප්‍රතිකාර ගන්නා බවට තහවුරු කර ගෙන තිබේ.
වෛරසයක් මගින් බෝ වන මෙම රෝගය නීරෝගී අයෙකුට බෝ වුවහොත් සාමාන්‍ය තත්වයෙන් සුව වී යන බවත් දියවැඩියාව,පෙනහළු රෝග, වකුගඩු රෝග වැනි කල් පවතින රෝග ඇති අයෙකුට වැළදුනහොත් මාරාන්තික විය හැකි බවත් ඇය සඳහන් කළාය. රෝගය නිසා මිය ගොස් ඇති බොහෝ දෙනෙකු එවන් රෝගවලට ගොදුරුව සිටි අය බවට හෙළි වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ශාන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළාය.
මහනුවර - මොහොමඩ් ආසික්