සමගි ජාතික බලවේගය ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කළ විට United National Power යන නම ලැබෙන බවත් එය කෙටි කළ විට UNP යනුවෙන් දැක්වෙන බවත් එක්සත් ජාතික පක්ෂයෙ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වන බවත් ඒ අනුව සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වෙන හෙයින් එවැනි දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙස නීති ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් පවසයි.
එසේම යම් කිසි දේශපාලන පක්ෂයක නමේ ඉංග්රීසි පරිවර්තනය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන්නේ නම් හෝ පවත්වාන දේශපාලන පක්ෂයක නම වෙනස් කිරීමේදී එහි ඉංග්රීසි පරිවර්තනයේ කෙටි යෙදුම UNP ලෙස දැක්වෙන්නේ නම් එවැනි පක්ෂයක් හෝ නම් වෙනස් කිරීමක් පිළිනොගන්නා ලෙසද නීති ලේකම්වරයා වැඩිදුරටත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.