ඇතැම් උසස් තනතුරු සඳහා රජය විසින් පත් කරනු ලබන පුද්ගලයන් පිළිබඳව බරපතළ විවේචන තිබෙන බවත් ඒ ආකාරයෙන් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධයෙන්ද බරපතළ විවේචන එල්ල වෙමින් තිබෙන බවත් රජයේ ඇමතිවරුන් හිර ගෙවල් වලට පැන සැකකරුවන්ගේ ඔළුවට පිස්තෝල තබා මරණීය තර්ජන එල්ල කරමින් මානව හිමිකම් උල්ලංගනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළ ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“මේ රජය වත්මන් සන්ධාන ආණ්ඩුවේ සෙසු පක්ෂ සමඟ ක්‍රියා කරනුයේ ඉතා උද්දච්ච අයුරින් . එහි ප්‍රතිඵල අද වන විටත් ඔවුන් විදිමින් සිටිනවා . අද විනයක් නැති පාර්ලිමේන්තුවක් බිහි වී තිබෙනවා . පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරියන්ට අසීලාචාර අසභ්‍ය වචනවලින් අපහාස උපහාස කරනවා . සන්ධානයේ අනිත් කණ්ඩායම් වල මන්ත්‍රීවරුන්ට පසු පෙළ මන්ත්‍රීන් දමා අපහාස කරනවා . රටේ ජේෂ්ඨ නායකයන්ට ගරහනවා . අද තමන්ගේ ගෝල බාලයන් පාලනය කර ගැනීමට බැරි තත්ත්වයකට මේ රජය පත් වී සිටිනවා .
අද වන විට මේ රට තනිකර ඒකාධිපති පාලන රටාවක ට යොමුකර යොමු වෙමින් තිබෙනවා එක්තරා විදේශීය තානාපතිවරයෙක් මා සමග පවසා සිටියේ පවුල් වැඩවසම්වාදය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙනවා කියලා . එය ඉතා නරක ප්‍රවේශයක් මේ සම්බන්ධයෙන් දෙස් විදෙස් විචාරකයන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබෙනවා . අපි මේ තත්ත්වය ගැඹුරින් විශ්ලේෂණය කරමින් සිටිනවා . මේ වන විටත් අපි ඊට එරෙහිව සංවිධානය වෙමින් සිටිනවා’
රටේ ආර්ථික අර්බුදය තුළින් දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා . ඒ හේතුවෙන් සාමාන්‍ය ජනතාව අතර දැඩි අවිනිශ්චිත බවක් ඇතිව තිබෙනවා . ආහාරපාන ජන ජීවිතය පිළිබඳ අවිනිශ්චිත බවක් සමාජය තුළ මතුවෙමින් තිබෙනවා . රජයේ අකාර්යක්ෂමතාවය , කළමනාකරණයේ තිබෙන දුර්වලතා , ආර්ථිකය පිළිබඳව රජය ගන්නා තීන්දු තීරණ මත එය තවත් සංකීර්ණ වී තිබෙනවා . දුර්වල ප්‍රතිපත්ති තීරණ නිසා ගොවීන්, කම්කරුවන්, සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් පීඩාවකට පත්ව පත්ව තිබෙනවා .
මෙරට බොරුව, දූෂණය, වංචාව හා අකාර්යක්ෂමතාවය බරපතළ ලෙස ව්‍යාප්ත වී තිබෙන බවක් පේනවා . මේ කරුණු මත රට වේගයෙන් අරාජික තත්වයට ගමන් කරමින් තිබෙනවා . ඇතිව තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් රජය විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතුව තිබුණත් ඒ කිසිවක් සිදු වෙන්නේ නැහැ . මේ සියලු ප්‍රශ්න හමුවේ රජය අඳුරේ අතපත ගාමින් සිටිනවා .
පාස්කු ඉරිදා ප්‍රහාරය අපගේ පක්ෂ නායකයාගේ පාලන කාලයේ සිදුවූ දෙයක් . ඒ පිළිබඳව සොයා බැලීමට එතුමා විසින් විශේෂ බලතල සහිත ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා . එහි නිර්දේශ ලැබී තිබෙනවා . ඒවා ක්‍රියාත්මක කළ හැකිව තිබුනත් ඊට පෙර දේශපාලකයන් ලවා ඒවා සොයා බලා නැවත නිරීක්ෂණය කිරීම හෙළා දකිනවා . අධිකරණ බලතල සහිත කොමිසමක නිර්දේශ නීතිපතිවරයා හරහා ක්‍රියාත්මක කරවීමට තිබුණා . නමුත් දේශපාලකයින්ගේ නිරීක්ෂණ හරහා තෝරා බේරා ගත් පුද්ගලයන්ට නඩු දැමීමට යාම අප හෙළා දකිනවා” යැයි ද පැවසීය .
ෂේන් සෙනෙවිරත්න