සමගි ජනබලවේගයට හා එක්සත් ජාතික පක්ෂයට සමලේකම් ධුර ලබාදී අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් එය වඩා සුදුසු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
විජයවර්ධන මහතා මේ බව පැවසුවේ අද (01දා) සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"පක්ෂයත්, සන්ධානයත් දෙකම ආරක්ෂා කර ගනිමින් ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුවට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියන එක ගැනයි අපි කල්පනා කළ යුත්තේ. මගේ පෞද්ගලික කැමැත්ත අපි අලියාගෙන් ඉදිරිපත් විය යුතුයි කියන එක. මගේ පමණක් නෙමෙයි බොහෝ දෙනෙකුගේ කැමැත්ත ඒක. හැම ජාතියක්ම එකතු කරන්න පුළුවන් ලකුණ අලියා, පක්ෂය එක්සත් ජාතික පක්ෂය. පාක්ෂිකයන්ගේ හදවතේ තියෙන්නෙත් අලියා.
අලියා කියන ලකුණට තේරුමක් තියෙනවා. සමන් දෙවියන්ගේ වාහනය අලියා. ඩී.එස්. සේනානායක මහත්මයා ඒ ලකුණ යොදාගත්තේ සමන් දෙවියන් ගිය ගමන වගේ ගමනක් යන්න ඕන කියන අදහසින්. හංසයා ලකුණත් තියෙනවා. ඒකත් දැන් ජනතාවට හුරුයි. අපට ඕන පක්ෂය කඩන්නේ නැතුව, ලකුණත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න.
අලියා ලකුණ වෙනත් පක්ෂයකට ලබා දෙන්න බැරි නීතිමය ගැටලුවක් තියෙනවා. සමගි පෙරමුණ වෙනම පක්ෂයක් විදියටනේ ලියාපදිංචි වෙන්නේ. ඕකමයි හංසයා ලකුණටත් වෙන්නේ. එක්සත් ජාතික පෙරමුණ විදියට වෙනදා යන විදියට යනවද කියලා තීරණය ගන්න ඕන.
ගොඩක් අය වෙනත් ලාංඡනයකින් පිට තරග කරන්න කැමති නෑ. මහලේකම් තනතුර පිළිබඳවත් යම් ගැටලු කිහිපයක් තියෙනවා. මගේ පෞද්ගලික මතය නම් සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාවයි සම ලේකම්වරු බවට පත් කරලා මේ ප්රශ්නය විසඳන්න තියෙන්නේ" යනුවෙන්ද පවසා සිටියේය.