සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදි ආසන 90කට වඩා ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂය ආසන 10 ක් පමණ දිනා ගනු ඇතැයි කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
ඉදිරි මහ මැතිවරණයට සහයෝගය දැක්වීම සඳහා ද්රඩිව ප්රගතිශීලි පෙරමුණ පක්ෂය සමග කඳුරට ජාතික පෙරමුණ පක්ෂය එකතුවීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා අද (13) මේ බව පැවසීය.
එහෙදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාධාක්‍රිෂ්ණන් මහතා ,
මෙවර මහ මැතිවරණයේදි ද්‍රවිඩ ප්රගතිශීලි පෙරමුණ පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්ව තරඟ කරනවා. අපේ සහයට අප්පුදරාජා මහතාගේ නායකත්වයෙන් යුතු කඳුරට ජාතික පෙරමුණ පක්ෂය එක්වීම පිළිබඳව අපි සතුටු වෙනවා.
රජය කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල ගැන සතුටු වෙනවා. ආණ්ඩුව ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙලට අපි සම්පුර්ණ සහයෝගය දෙනවා. මෙම වෛරසයේ තර්ඡනය අපිට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවල් 100 කට වඩා බලපා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය අපි වගේ රටකට අත්‍යාවශ්‍ය දෙයක්. ඒත් අපි බලන්න අවශ්‍ය වෙන්නේ රටේ ජනතාව ගැනයි. සංචාරක ව්‍යාපාරය නැතිව ගියත් ඒවා මාස කීපයකින් යළි හදාගන්න පුළුවන්. මිනිස්සු මැරැණොත් මොකද වෙන්නේ. ඒවා ආයේ හදා ගන්න බැහැ. ඒ නිසා ජනතාව ආරක්ෂා කර ගැනීමට රජය කර ගෙන යන වැඩපිළිවෙලට අපි සම්පුර්ණ සහයෝගය දෙනවා.
අද ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙලා තියෙනවා. දැන් හරිනම් පෙට්‍රල් ලීටරයක් රුපියල් පනහකට දෙන්න පුළුවන්. ඒත් තෙල් මිල විතරක් නෙවෙයි හැම භාණ්ඩයකම මිල ගණන් වැඩි වෙලයි තියෙන්නේ .
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වීම ගැන අපි වැඩිය විවේචන කරන්න හොඳ නැහැ. නමුත් මම හිටපු ජනාධිපතිවරයානම් මම කරන්නේ ගෙදරට වෙලා නිකන් පාඩුවේ ඉන්නවා මිසක් මෙහෙම සවුත්තු වෙන්නේ නැහැ යයි පැවසීය.
ශාන් හුලංනුගේ