ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නොමැති බව අදට වාර්තා වේ.
ජාතික තවුහීද් ජමාත් සංවිධානය (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි(JMI) සංවිධාන තහනම් කිරීමට කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර මේ වන විට සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවී ඇති අතර, අදට දින 16ක් ගතවී තිබේ.
හදිසි නීතිය පැනවීමත් සමග ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු සලසා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 27 වැනිදා නිවේදනය කළේය.
එසේ වුවද, එම ත්‍රස්ත සංවිධාන තහනම් කිරීමට අදාළ නිල ගැසට් නිවේදනය මේ වනතෙක් රජය විසින් ප්‍රකාශයට පත්කර නොමැත. හදිසි නීතිය යටතේ වුවද එම සංවිධානය තහනම් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවත්, එය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් පවතින්නේදැයි රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් විමසුවද, නිසි පිළිතුරක් ලබාදීමට ඔවුහුද අපොහොසත් වූහ.
හදිසි නිතීය පැනවීම පසුගිය මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සිදු කළ අතර, හදිසි නීතියේ වලංගු කාලය වන්නේද මාසයක කාලයකි. ඒ හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ යුතුව ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේදී චීන සංචාරයක නිරත වීමට නියමිතව ඇති බැවින් ඊට ප්‍රථම මෙම ත්‍රස්ත සංවිධාන තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස නීති විශාරදයෝ ඉල්ලා සිටිති.
ජාතික තවුහීද් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්ර්ාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් මස 27 වැනිදා නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන් වේ.
&ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්ර්ාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.
ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපොළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.
මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.