එම්.සී.සී. ගිවිසුමට අදාළව යහපාලන රජය ඇමෙරිකා ඩොලර් මිලියන දහයක් ලබාගෙන ඇත්නම්, එලෙස මුදල් ලබාගත් පුද්ගලයන් පිළිබඳ රටට හෙළි කරන ලෙස තමන් ජනපතිට හා අගමැතිට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එම්.සී.සී. ගිවිසුමට අදාළව කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට ලබා නොදුන් බවට අමෙරිකා තානාපති කාර්යාලයද නිල වශයෙන් ප්‍රකාශයක් කර ඇති මොහොතක රාජපක්ෂ පාලනය විසින් අභූත චෝදනා එල්ල කිරීම කනගාටුදායක බවද හෙතෙම ප්‍රකාශ කළේය.
කඳාන ප්‍ර‘දේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකට සහභාගි වෙමින් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළ අතර, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ,
"ඇමෙරිකා පුරවැසියකු ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එම්.සී.සී. ගිවිසුම පිළිබඳ තම ස්ථාවරය වහාම රටට දැනුම් දිය යුතුයි. බොරු චෝදනා එල්ල කරමින් මෙවරත් ජනතාව නොමග යැවීම ආණ්ඩුවේ අරමුණයි. එම්.සී.සී. ගිවිසුමට අදාළව කිසියම් පාර්ශ්වයක් මුදල් ලබාගෙන ඇත්නම්, වහාම එය රටට හෙළි කරන ලෙසට අප ඉල්ලා සිටිනවා.
විපක්ෂයට බොරු චෝදනා එල්ල නොකොට එම්.සී.සී. ගිවිසුම පිළිබඳ රජයේ ස්ථාවරය ජනතාවට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවරත් එම්.සී.සී. ගිවිසුම පිළිබඳ කරුණු ඈඳා ගනිමින් පටු දේශපාලන වාසි ගන්න ජනාධිපතිවරයා පත් වීම කනගාටුදායක තත්ත්වයක් බව කිව යුතුයි.
පසුගිය රජය විසින් එම්.සී.සී. ගිවිසුමට අදාළව ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මුදලක් ලබාගෙන ඇත්නම් බොරු චෝදනා එල්ල කරමින් නොසිට එලෙස මුදල් ලබාගත් කණ්ඩායම ගැන රටට හෙළි කළ යුතුයි. අප ඒ සම්බන්ධයෙන් හෙළි කරන්නැයි ජනපතිට සහ අපි අගමැතිට අභියෝග කරනවා.
එම්.සී.සී. ගිවිසුමට අදාළව කිසිදු මුදලක් පසුගිය රජයට ලබා නොදුන් බවට ඇමෙරිකා තානාපති කාර්යාලයද නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි අභූත චෝදනා එල්ල කරමින් සිටීම කනගාටුදායක තත්ත්වයක්. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් මෙම ආධාර ප්‍රදානයන් ලබාගැනීම සඳහා මුල්ම ඉල්ලීම කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව හෙළි වී තිබෙනවා" යනුවෙනි.