රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමෙන් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින්ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නායකපාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලෝකයේ අනෙකුත් රටවල් හා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ රැකියාවලින් ඉවත් කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී නොපනවනු ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.
ලබන වසර මැද වන විට බිලියන 06කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාර ලබාගැනීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ අද (25දා) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
විදේශ විනිමය උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අවස්ථාවේදී මූල්‍ය අරමුදල වෙත ගිය විට අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනද ශ්‍රී ලංකාවට ණය දීමට ඉදිරිපත් වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුමයටතේ රුපියලේ අගය 240ට තබාගත හැකි වුවද මූල්‍ය අරමුදල සමග ගනුදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 300ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බවද වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.