රෝහල් සඳහා ප්‍රධාන පරිපාලන නිලධාරීන් පත් නොකිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) බලපෑම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ පරිපාලන ඔවුන් හරහා මෙහෙයවීමේ අවශ්‍යතාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) තිබෙන බව 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ හත්වන දිනය සඳහා අද (30දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව මෙරට මිලියන ගණනක මුදල් විනාශ වෙමින් තිබෙන්නේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය නිසා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කොන්ද කෙලින් තබාගෙන වැඩ කටයුතු කරන්නේ නම් මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගත යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“අපේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පසුගිය සියලුම ආණ්ඩු දක්වපු ආකල්පයත් අද දක්වන ආකල්පයත් ඉතා පැහැදිලිව මේ අයවැයෙන් තහවුරු වෙනවා. සාමාන්‍ය ලෝක සම්මතය තමයි අය වැය මගින් දල දේශීය නිෂ්පාදනයෙන් 09%ක් වත් සෞඛ්‍ය සඳහා වෙන්කළ යුතුයි. 09%ක් කෙසේ වෙතත් අපේ රටේ 05%වත් මුදල්ක් වෙන් කිරීම තමයි හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න සුදුසුම ක්‍රමය.
නමුත් අවාසනාවකට මෙවර අයවැයෙත් 1.1 – 1.5% අතර ප්‍රමාණයක් තමයි වෙන් කරලා තිබෙන්නේ. සෞඛ්‍යයට වෙන්කරන මුදල් එන්න එන්න අඩු වෙනවා. ඇත්තටම රජය සෞඛ්‍ය කෙරෙහි දක්වන ආකල්පය මේකෙන් පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් අද ඩොලර් 40ක් වගේ ප්‍රමාණයක් තමයි රජය එක් පුද්ගලයෙක් සඳහා වියදම් කරන්නේ.
පොදුවේ රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් ගත්තොත් ඩොලර් 100ක් වගේ වෙන් කරනවා. ඒක රුපියල් වලින් ගත්තොත් රජයෙන් එක් පුද්ගලයෙකුට වෙන් කරලා තිබෙන්නේ රුපියල් 8,000ක් විතර. පෞද්ගලික අංශයත් එකතු වුනාම රුපියල් 20,000ක් විතර.
අපි අපි දකින දෙයක් තමයි මේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පරිපාලනය බිඳ වැටිලා තිබෙනවා. සාමාන්‍යයෙන් ආයතනයන සාර්ථකත්වය තීරණය වන්නේ ඒ ආයතනයේ පරිපාලනය මත. අද බොහෝ රෝහල් වල පරිපාලනයේ බිඳ වැටීමක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අදාල රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරියා පත් නොකිරීමේ ප්රශ්නය.
මේක නිකන් ආපු එකක් නෙවෙයි. මේ පරිපාලන නිලධාරීන් පත් කරන්නේ නැත්තේ ඇයි. මේකේ රහස සෞඛ්‍ය ඇමතිවරු දන්නවා. වෙන මොකක්වත් නෙවෙයි ජී.එම්.ඔ්.ඒ එකේ බලපෑමට. ජී.එම්.ඔ්.ඒ එකේ බලපෑමට සෞඛ්‍ය ඇමතිවරයා යටයි. බයවෙලා ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ජී.එම්.ඔ්.ඒ එකේ ඉන්නවා කිහිපදෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශට මෙහෙය වීමේ බලය ඔවුන්ගේ අතට ගන්න. ඒක තමයි මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ පැහැදිලිව කිව්වේ. ඒ ජී.එම්.ඔ්.ඒ එකේ ලොක්ක ඇවිල්ලා මම ලග දන ගහලා වැඳලා කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්කම ඉල්ලුවා කියලා.”
