“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය.
දැන් එය “ඉටුකම - COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යනුවෙන් නම්කර ඇත.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ශනය කරගනු පිණිස සන්නාමය හඳුන්වාදෙනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්රදානය කළේය.
COVID -19 වසංගතය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම ආරක්ෂණ අරමුදලේ පරමාර්ථයයි. අරමුදලට පරිත්‍යාග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇත.
එහි අංකය 85737373. බැංකු කේතය 7010; ශාඛා කේතය 660; ස්විෆ්ට් කේතය BCEYLKLX.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලිග්රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායක වීමට පිළිවන.
COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පාලනය කරනුයේ පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනි.
මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටු සභාපති ධූරයත්, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රවින්ද්‍ර විමලවීර මහතා ප්‍රධාන ලේකම්ධූරයත් හොබවති.