ලෝක බෞද්ධ සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 27 වැනි ලෝක බෞද්ධ සමුළුව හෙට (16දා) චීනයේ බීජිං නුවර ඓතිහාසික ෆාමන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව, චීනය, තායිලන්තය ඇතුළු ආසියාතික රටවල මෙන්ම, උතුරු ඇමෙරිකාව හා යුරෝපා රටවල් රැසක ගිහි පැවිදි නියෝජිතයන් 600කට අධික පිරිසක් මෙවර ලෝක බෞද්ධ මහා සමුළුවට සහභාගි වන බව පැවසෙයි.
ආචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ අදහසක් අනුව 1950 මැයි මස 25 වැනිදා කොළඹදී ආරම්භ කරනලද ලෝක බෞද්ධ මහා සම්මේලනයට මෙම වසරේදී වසර 64ක් සපිරෙයි.
මෙවර සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ දූත පිරිසේ නායකත්වය කොළඹ-හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලයගොඩ විද්‍යාලංකාර පිරිවෙන් පරිවේනාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ දැරූහ.
එමෙන්ම, මල්වතු පාර්ශ්වය නියෝජනය කරමින් තිබ්බොටුවාවේ මේධාලංකාර හිමි, අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන ආචාර්ය ගොඩගම මංගල හිමි, බෞද්ධයා නාලිකාවේ බෞද්ධයා නාලිකාවේ සභාපති කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වැලමිටියාවේ ඥානරතන හිමි සහ උඩගලදෙනියේ ධර්මපාල හිමි යන මහා සංඝරත්නයද, සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය හාවෝ වේමින් සහ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී බුද්ධික සංජීව යන මහත්වරුද මෙම දූත පිරිසට එක්ව සිටියහ.
රටවල් 35කට අයත් මහායාන, ථේරවාද හා වජ්‍රායන බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇරඹී මෙම සම්මේලනයේ ප්‍රධාන අරමුණ වන්නේ බෞද්ධ ඉගැන්වීම් වඩාත් නිවරදි ආකාරයෙන් පිළිපැදීම සහ බුදුදහම ලොවපුරා පතුරුවාලීමයි. එමෙන්ම, සමාජ, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු සංවිධානය කරමින් මානව හිතවාදී සේවයක නියැලීමද මෙහි අරමුණකි.
ලෝක සාමය හා සහජීවනය වෙනුවෙන් වඩාත් ඵලදායී අයුරින් ක්රියාකිරීමත්, අනෙකුත් සංවිධාන හා එකමුතුව වඩාත් සුරක්ෂිත හෙට දිනක් සඳහා කටයුතු කිරීම වෙනුවෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනය වර්තමානයේදී පෙරමුණ ගෙන කටයුතු කරන බව පැවසෙයි.