ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා 2024 වර්ෂය වන විට නිවාස 71,110ක් ඉදිකිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 12 වැනි දිනය සඳහා අද (06දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 4ක් ක්‍රියාත්මක වෙනවා. අපි මේ වන විට නගර සංවර්ධන සැලසුම් 21ක් අවසන් කරලා තිබෙනවා. තවත් නගර සැලසුම් 52ක් අවසන් කරමින් තිබෙනවා. ඒ වගේම 2024 වන විට තවත් නගර සංවර්ධක සැලසුම් 136ක් සකස් කිරීමට අපේක්ෂා කරනවා. 2022 වර්ෂයේදී තවත් 100ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කරලා තිබෙනවා. නාගරික වාහන තදබදයට විසඳුම් ලෙස රථගාල් ව්‍යාපෘති 12ක් ඉදිකිරීමට ද සැලසුම් කරලා තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ත ප්‍රකාශයට අනුව සෑම පවුලකටම සුවපහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා.
නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14, 083ක ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීම රජයේ අරමුණයි. මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ඒකක 1,108ක් 2021 වර්ෂයේදී ලබා දීමට කටයුතු කළා. නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘති වලට සමගාමීව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින්ද, මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති තුනක් ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිත බව ප්‍රකාශ කරන්න ඔ්නී.
ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව විසදීම සඳහා ඔබට ගෙයක් -රටට හෙටක් යන නිවාස ව්‍යාපෘතිය යටතේ සෑම වසරේම දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,022ම ආවරණය වන පරිදි එක ගමකට එක ගෙයක් බැවින් ඉදිවෙනවා. 2024 වන විට මෙම වැඩසටහන් මගින් ඉදිකිරීමට නියමිත මුලු නිවාස සංඛ්‍යාව 71,110ක්.
යනුවෙන්ද සඳහන් කළේය.