ගෙවුණු වර්ෂය ශ්‍රී ලාංකික අපට අභියෝගාත්මක වර්ෂයක් ලෙස සඳහන් කළ හැකිය. කෝවිඩ් වසංගතයේ අඳුරු සෙවණැලි යම් ආකාරයකට පහව යද්දී, ආර්ථික හා දේශපාලන අර්බුදයකින් ජනතාවට පීඩා විඳින්නට සිදුවිය. බලශක්ති අර්බුදයත් සමග අන්ධකාරයේ වෙළෙන්නට වීමත්, ගෑස් හා ඉන්ධන නොමැති වීමෙන් දිගු පෝලිම්වල දුක්විඳින්නට වීමත්, ප්‍රවාහන ගැටලුවලට මුහුණදෙන්නටත් ජනතාවට සිදුවිය. මෑත ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා අත්විඳි මේ තත්ත්වය නිසා ජනතාව පාරට බැසීම හේතුවෙන්, ජනාධිපතිවරයාගේ සිට මෙරට පාලනයේ යම් වෙනසක් සිදුවිය. දැඩි තීරණාත්මක වර්ෂයක් ලෙස නිමාව දුටු 2022 වර්ෂයේ ශ්‍රී ලංකාව ස්ථානගත වී තිබූ ආකාරය පිළිබඳ නැවත හැරී බැලීමකි මේ.
උද්ධමනය වැඩිම රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවේ නම ඇතුල් වීම 2022 වර්ෂයේ මුල සිටම දක්නට ලැබූ තත්ත්වයකි. විශේෂයෙන් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතා පසුගිය වර්ෂයේ මාර්තු මස නිකුත් කළ උද්ධමන වගුවේ හයවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාවේ නම සටහන්ව තිබිණ.
එහි විශේෂත්වය වන්නේ මීට පෙර ඔහු විසින් නිකුත් කරනු ලැබූ උද්ධමන වාර්තාවල ශ්‍රී ලංකාවේ නම මෙලෙස සටහන් නොවීමය. ඔහු විසින් නිකුත් කළ නවතම (2022/12/22) ලැයිස්තුවේ සිවුවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාවේ නම සටහන්ව තිබිණ. ඒ අනුව ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියේ සිම්බාබ්වේ, වෙනිසියුලාව හා කියුබාව යන රටවල් වේ.
අගෝස්තු මස වන විට මෙරට වාර්ෂික උද්ධමන අනුපාතය 70%කට වඩා වැඩි විය. කෙසේ හෝ රජය විසින් මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා විවිධ පියවර ගත්තද, තවදුරටත් මෙරට උද්ධමනය පෙර පැවැති යහපත් තත්ත්වයට පත්ව නැත. ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ මූලික ගැටලුව බවට පත්ව ඇත්තේ ආහාරය. ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් 10 අතරටද ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇත.
අගෝස්තු මාසයේදී එම ලැයිස්තුවේ පස්වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබිණ. එම වාර්තාවට අනුව මෙරට නාමික ආහාර උද්ධමන අගය සටහන් වූයේ 91% (YOY) ලෙසය. පසුගිය අගෝස්තු මාසයේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබුණේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අනුපාතය වේ.
කෙසේවෙතත් ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් ලැයිස්තුවේ හත්වැනි තැනට ශ්‍රී ලංකාව පත්වී ඇත. ඔවුන් දක්වන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 74%කි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ කාර්යාලයට අනුව ශ්‍රී ලාංකිකයන් මිලියන 5.71ක් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳී. එසේම ඔවුන් සඳහන් කරන්නේ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් මිලියන 1.97කට බලපෑම් එල්ල වී තිබේ.
යුනිසෙෆ් ආයතනය ඇස්තමේන්තු කර ගැති පරිදි මෙරට ළමුන් 56,000ක් පමණ දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි. එසේම ලෝක ආහාර වැඩසටහනේ සංඛ්‍යාලේඛන අනුව මෙරට පවුල්වලින් 1/3කටම සුරක්ෂිත ආහාර ප්‍රභවයක් නොමැති අතර, 70%ක් පමණ ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇත.
ලෝක බැංකුව විසින් ඉකුත් දෙසැම්බර් මස 15දා නිකුත් කළ ආහාර සුරක්ෂිතතා වාර්තාවට අනුවද ආහාර මිල උද්ධමනය වැඩිම රටවල් දහය අතර 7වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවෙයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය මුදලේ අවප්‍රමාණය වීම අතින් ලොව තුන්වන තැනට ශ්‍රී ලංකාවේ නම සටහන්ව තිබුණු අතර, ඒ රුපියල 47.79%කින් අවප්‍රමාණය වීමෙනි. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පසුගිය ජනවාරි මස සිට දෙසැම්බර් අග දක්වා සිදුකළ මැනීම් අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ මුදල් ඒකක අතර හතරවෙනි ස්ථානයට පත්ව තිබිණ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල -49.17%කින් අවප්‍රමාණය වී ඇත.

ගෝලීය කුසගිනි දර්ශකයට අනුව රටවල් 121 අතරින් ශ්‍රී ලංකාව 64වන ස්ථානයට පත්ව ඇත. මෙම දර්ශකයේ පළමුවැනි ස්ථාන ඉතා සාධනීය වන අතර, අවසන් ස්ථානයේ පසුවන්නේ සාගින්න දරුණු ලෙස බලපා ඇති රටවල්ය. මෙම දර්ශකය පදනම් කර ගන්නේ මන්දපෝෂණය, ළමයින්ගේ වැඩීම බාල වීම, ළමයින් දුර්වල වීම හා ළමා මරණ යන සංචරක දර්ශක හතරේ අගයන් මතය.
කෙසේ හෝ මෙවන් අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාව පැවතියද ලෝක සතුටු දර්ශකයේ පියවර දෙකක් ඉදිරියට එන්නට පසුගිය වර්ෂයේ සමත්වී තිබීම විශේෂ කරුණකි. ඒ අනුව රටවල් 149ක් අතරින් 2021 වර්ෂයේ 129වැනි ස්ථානයේ පසු වූ ලංකාව 2022 වර්ෂයේ 127වැනි ස්ථානය හිමිකරගෙන තිබිණ.

ගෝලීය වශයෙන් පවතින දූෂණය මැන බැලීම සඳහා වාර්ෂිකව බර්ලින්හි ට්‍රාන්ස්පේරන්සි අන්තර්ජාතික ආයතනය පසුගිය වර්ෂයේ ජනවාරියේ නිකුත් කළ දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 102වැනි ස්ථානයයි. මෙය සැකසීම සඳහා නිකුත් කළ CPI අගය මෙරටට 37ක් ලෙස සටහන් වූ අතර, එම අගය 0 නම් බෙහෙවින් දූෂිත වන අතර, එම අගය 100ට ආසන්න වන විට ඉතා පිරිසුදු රටක් ලෙස සලකනු ලබයි. කෙසේ වෙතත් මෙම වාර්තාව 2022 නිකුත් කළද, ඒ සඳහා දත්ත පාදක කරගෙන තිබුණේ 2021 වර්ෂයයි.
තවද ෆ්රේසර් හා ඇඩ්වෝකේටා ආයතන එක්ව නිකුත් කරන ලද ලෝක ආර්ථික නිදහස පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව රැඳී සිටියේ 89වැනි ස්ථානයේයි. පෙර වර්ෂයේ ශ්‍රී ලංකාව මෙම පෙළගැස්මේ රැඳී සිටියේ 100 වන ස්ථානයේ වන අතර, 2022 වර්ෂයේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණ තිබේ.
2022 නිකුත් කරනු ලැබූ ගෝලීය නවෝත්පාදන දර්ශකය අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 85වැනි ස්ථානයයි. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් (World Intellectual Property Organisation ) නිකුත් කරනු ලැබූ එම වාර්තාවට අනුව කලාපයේ රටවල් අනුව පස්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
ලෝක ආර්ථික සංසදය මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ගෝලීය තරගකාරීත්ව දර්ශකයේ (Global Competitiveness Indexහී) ශ්‍රී ලංකාවට පසුගිය වර්ෂයේ හිමිව ඇත්තේ 92වැනි ස්ථානයයි. ගෝලීය තරගකාරීත්ව ලෙස හඳුන්වනුයේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ වර්ධනයක් ඇති කර ගැනීමට රටකට ඇති හැකියාව වේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත් කරනු ලැබූ මානව සංවර්ධන දර්ශකයේ පසුගිය වර්ෂයේ ලංකාවට හිමිව තිබුණේ 73වැනි ස්ථානයයි. ඒ රටවල් 191ක් අතරිනි.

ගෝලීය සාම දර්ශකයේ ලංකාවට හිමිව තිබුණේ 90වැනි ස්ථානය වේ. එය 2021 වර්ෂයේ සිටි ස්ථානයෙන් පියවර 5ක් ඉදිරියට යාමකි. ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් මෙලෙස පසුවද්දී යළිත් ගූගල් සෙවුම් හරහා Sex යන වචනය වැඩිම වාර ගණනක් සෙවූ රට ලෙස ශ්‍රී ලංකාව පත්විය.
ගෝලීය වශයෙන් නිකුත් කරන දර්ශක අතර, කනගාටුදායක ස්ථාන හිමිකරගෙන සිටින අවස්ථාවක රටේ පුරවැසියන් ලෙස, ජාතියක් ලෙස එකාවන්ව නැගී සිටිය යුතු කාලයක් එළඹ තිබේ. විශේෂයෙන් උදාවූ 2023 වර්ෂය ශ්‍රී ලාංකිකයන් ලෙස අප කොයි කාටත් පහසු ජීවිත ගත කරන්නට හැකි වර්ෂයක් නොවනු ඇති බව නොකිවමනාය. නමුත් ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් දහය අතර හතරවෙනි ස්ථානය ලබා සිටින්නේද අපේ රටයි. ඒ පොදු නිවාඩු ප්‍රමාණය 25ක් බවට පත්වෙමිනි.
කෙසේ වෙතත් පොදු නිවාඩු සතිඅන්තයේ යෙදී තිබෙන අවස්ථාවන්හි සඳුදා දිනයට එම පොදු නිවාඩුව ලබාදීමට කටයුතු කරන තත්ත්වයක් මෙරට පවතින නිසා, මෙම දර්ශකයේ හිමි ස්ථානය තවදුරටත් ඉදිරියට සටහන් විය යුතු වේ. විශේෂයෙන් ලැබුවා වූ මේ නව වර්ෂයේ සතිඅන්ත හා පොදු නිවාඩුද ඇතුළත්ව නිවාඩු දින 123ක් සටහන්ව ඇති අතර, රටේ පවතින තත්ත්වය අනුව මේ නිවාඩු දින ඵලදායීව ආර්ථික කටයුතුවල යෙදීම වැදගත් වේ.