වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, 2020 ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29දා) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පැවැති මාධ්යසාකච්ඡාවකදීය.
එහිදී පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ ප්‍රධාන අමාත්‍යවරයා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පාලනයත් සමග ජනතාව මෙම විධායක ජනාධිපතික්රමය අනුමත කරන බවද කියා සිටියේය.
විධායක ජනාධිපතික්රමය අහෝසි කළහොත් උතුරු නැගෙනහිර පළාත් පාලනය තුළ විවිධ අර්බුදකාරී තත්ත්වයන් මතුවිය හැකි බවද ඔහු කීය.
පසුගියදා ජනාධිපතිවරයා සහ ප්‍රධාන අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවේදී කුමන ආකාරයකින්වත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සූදානම් නොවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වෙන බව කී ප්‍රධාන අමාත්‍යවරයා උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසය වනවිට අවසන් වන බැවින් එම පළාත් සභා තුනෙහි මැතිවරණය නියමිත කාලයට පවත්වන බවද කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය පැරණි අයුරින් නොපවත්වන බවත්, එය කොට්ඨාස ක්‍රමය යටතේ පවත්වන බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂය ශක්තිමත් කර ඇති අතර, 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තම පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවද මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.