"ප්රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැහැ" යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (19) වැල්ලවාය සෙවණගල දන්ඩුම හන්දියේ පැවැති හමුව අමතමිනි.
“මොනරාගල කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. වනවගාව විතරක් සියයට පනහකට වැඩියි. නිල්ගල රක්ෂිතය පිහිටා තිබෙන්නෙත් මොනරාගලයි. අපේ ජනතාවගෙන් සියයට 75ක් යැපෙන්නේ කෘෂිකර්මාන්තය මඟින්. මොනරාගල ට පානීය ජලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්න අපේ කාලයේ උමාඔය ව්‍යාපෘතිය පටන්ගත්තා. ඒත් කට්ටිය කිව්වේ මැදමුලනට වතුර ගෙනියන්න උමාඔය ව්‍යාපෘතිය කරනවා කියලා.
ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙන්න ප්‍රධාන හේතුවක් ලෙස පිරිසිදු පානිය ජලය නොමැතිකම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පිරිසිදු පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. අපි කටයුතු කරන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇතිවයි.
සෙවණගල කිව්වම අපිට මතක් වෙන්නේ උක් වගාව. මේ වන විට සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ උක් ටොන් 1200ක් ඇඹරීමකට ලක්කර සීනි නිෂ්පාදනය කරනවා. වහාම දෙවැනි පියවර ගැනීම අපේ වගකීමක්. උක් ටොන් 2400ක් ඇඹරීමේ පහසුකම් සහිතව සීනි කර්මාන්තය දේශීය කර්මාන්තයක් විදියට ගොඩනගනවා. අපි දේශීය කර්මාන්තයට ප්‍රමුඛතාවය දෙනවා. පිටරටින් හැමදෙයක්ම ගේනකල් බලන් ඉන්න බැහැ. හම්බන්තොට ලුණු තියාගෙන ඉන්දියාවෙන් ලුණු ගේනවා. මේවා වෙනස් විය යුතුයි. හැම දෙයක්ම පිටරටින් ගේනකල් බලන් හිටපු යුගය අවසන් කරන්න ඕනෑ.
මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. අපි අපේ ආර්ථිකය ගොඩනඟලා, ඒක පුද්ගල ආදායම වැඩි කළා. ජනතාව අතේ මුදල් ගැවසෙන්න පටන් ගත්තා. අලුත් මධ්‍යම පන්තියක් බිහිවුණා. අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපලක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණුවා. ගුවන්තොටුපල බේරගන්න පුළුවන් වුණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමති කෙනෙකුට පණ තිබුණෙ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න.
ඒ වුණාට කිසිදෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස දැන් කියනවා. අපි මේ රටේ දේපල කිසිකෙනෙකුට විකුණන්න ඉඩ තියන්නේ නැහැ. ඒ දේපල ඔබට, ඔබේ දරුවාට සහ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් රැකගන්න ඕනේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න කියලා මට ආරාධනා කරනවා කියලා පත්තරේ තිබුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු අය. බණ්ඩාරනායක මහත්තයා, ඩී. ඒ. රාජපක්ෂ මහත්තයා වගේ අය තමයි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් පක්ෂය හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරලා, පක්ෂය ශක්තිමත් කරලා, පක්ෂය බලයට ගේන්නත් අපිට හැකි වුණා.
2015 ජනාධිපතිවරණය පරාජය වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පලා බෙදන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි නෙළුම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා, ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළේ. අපිට දැන් පක්ෂයක් තියෙනවා. දැන් ඒ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යනවා.
මෛත්‍රිපාල සිරිසේන මහතා මට කතාකරලා අගමැතිකම දුන්නා. ඊට කලින් ආසන 54 ක් තිබුණත්, අපිට විපක්ෂ නායකකම දුන්නේ නැහැ. ආසන දහසයක් තිබුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම දීලා ආසන 6ක් තිබුණු ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. අපිත් උපක්‍රම පාවිච්චියට ගත්තා. අගමැතිකම භාර අරගෙන දවස් 51ට පස්සේ අගමැතිකමෙන් ඉවත්වෙලා විපක්ෂ නායකකම ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙනවා. අපි බලයට ඇවිත් කෙටි කාලයක් තුළ පළාත්සභා මැතිවරණය පැරණි ක්‍රමයට හරි පවත්වන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.
අද අපි නැවත එකතුවෙලා පෙරමුණකට ඇවිත් ඉන්නවා. ඡන්දේ දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න එපා. වසර පනස් ගණනක දේශපාලන ඉතිහාසයක් තිබෙන මම උපදේශයක් විදියට ඔබට කියනවා මනාප පොරයට යන්න එපා.
අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. ප්‍රේමදාස පිළ සහ රනිල් පිළ කියලා බෙදුණු ඒ දෙගොල්ලෝ සූදානම් වෙන්නේ සිරිකොත අල්ලන්න. මේ රටේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඡන්දෙ දෙන්න ඕනේ සිරිකොත අල්ලන එකටද. ඒක ඉඩම් නඩුවක් දාලා බේරගන්න පුළුවන්. පහුගිය දවස්වල මම රට වටේම ඇවිද්දා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් මාත් එක්ක කියන්නේ ඒ අයට ඡන්දෙ දෙන්න කෙනෙක් නැහැ කියලයි. එක්සත් ජාතික පක්ෂය රට අල්ලන්න සූදානමක් නැහැ. පක්ෂය අල්ලන්න විතරයි සූදානම්.
අද එජාප පාක්ෂිකයිනුත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හොඳයි. පැහැදිලියි. ශක්තිමත් කියලා. ඒ අය සියලු දෙනා එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් මේ මැතිවරණයේදී ලබා ගැනීමට අවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න, රටට ගැලපෙන, දේශයට ගැලපෙන, ඒකීයභාවය සුරකින නව ව්‍යවස්ථාවක් ගේන්න අපි සූදානම්.
ප්රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැහැ.