2008-2014 බැඳුම්කර නිකතු ගැනත් සොයනවා
- 30 11 2017
- 11:26
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
2015 වසරේ සිදුවූ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව වන විමර්ශන අවසන් වූ විට 2008-2014 කාලයේදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳවද විමර්ශනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය
බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමට සහය දක්වමින් අවශ්‍ය ඕනෑම කරුණු පැහැදිලි කිරීමක් කිරීමට මා සූදානම් බව මම මීට කලින් අවස්ථාවක දන්වා සිටියා. මා එසේ දන්වා සිටියේ කොමිසමෙහි සාක්ෂි සටහන් කරද්දී මගේ නම ද සඳහන් වූ නිසා මෙන්ම මහබැංකුව මගේ අමාත්‍යංශය යටතට ගැණෙන ආයතනයක් වන නිසයි.
ඒ අනුව කොමිසම කරුණු 20 ක් සම්බන්ධයෙන් මගෙන් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියා. ඉන් පසුව තවත් කරුණු 28 ක් සම්බන්ධව තොරතුරු විමසා සිටියා. මම ඒ සියල්ල සම්බන්ධව ලිඛිතව පිළිතුරු ලබා දුන්නා. මේ අතර මා දුන් පිළිතුරු කීපයක් ගැන වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බව කොමිසම දන්වා සිටියා. ඒ අනුව නොවැම්බර මස 20 වන දා මම කොමිසම හමුවට ගොස් කරුණු පැහැදිලි කළා.
කොමිසමේ සාක්ෂි විභාගයේදී මෙතෙක් අනාවරණය නොවූ කරුණු කීපයක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්වීමට මට සිදු වුණා. ඒ, 2015 වසරේ අප ආණ්ඩුව බාර ගන්නා විට රටේ තිබූ මුල්‍ය තත්වයයි.2014 වසර වන විට පැවැති මුළු විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 3,113 ක්. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක්. 2014 වසරේ පැවැති සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.3% ක්. දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.4% ක් ණය ගෙවීමට වැය වුණා. රටේ තිබූ ආර්ථික තත්ත්වය අනුව රජයේ ආදායම ණය ගෙවීමටත් මදි වුණා. රජයේ වියදම් සඳහා තවත් ණය ගැනීමට සිදු වුණා.
2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු විස්තර මා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගෙන තිබෙනවා. මෙම සෑම වසරකම බහුතරයක් නිකුත් කිරීම් සිදු කොට තිබෙන්නේ පුද්ගලික ඍජු නිකුත් කිරීම්. මෙහි කිසිම විනිවිදභාවයක් තිබිලා නැහැ.
මා මේ අවස්ථාවේ මවිසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් 2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ වාර්තාව සභාගත කරනවා. මෙම කාලය තුළ රුපියල් බිලියන පන්දහස් එකසිය හතලිස් හතක (රු. 5,147,751,210,000/-) ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර ඉන් රුපියල් බිලියන හාරදහස් හත්සිය දෙකක (රු. 4,702,232,210,000/-) බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ පුද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේයි.
එනම් මෙම කාලය තුළ මුළු බැදුම්කර නිකුතුවලින් සියයට 90 කට වඩා වැඩි ප්‍රතිශතයක් නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික ඍජු බැඳුම්කර නිකුතු ක්‍රමය යටතේයි. මෙම කාලය තුළ අවස්ථා 84 ක දී පෞද්ගලික ඍජු නිකුත් කිරීම් ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙනවා. බැඳුම්කර වෙන්දේසි ක්‍රමය මඟින් නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකම රුපියල් බිලියන 435.5 ක් පමණයි. 2015 වසර තුළ දී පුද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ අවස්ථා හතරක දී පමණයි. එහි වටිනාකම රුපියල් බිලියන 157.5 යි.
දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 2017 සිට 2045 දක්වා ගෙවිය යුතු මුළු මුදල හා පොලිය පිළිබඳව පුරෝකථන වාර්තාවක් මා මහ බැංකුවෙන් ලබා ගත්තා. ඒ අනුව 2045 වන තෙක් බැඳුම්කර සඳහා රුපියල් බිලියන 4154 කුත්, පොලිය වශයෙන් රුපියල් බිලියන 3086 කුත් ගෙවීමට තිබෙනවා. නමුත් මෙම කාලය තුළ රජයට බැදුම්කර හරහා තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ සඳහා අනාගතයේ දැරීමට සිදුවන වියදම් මෙම පුරෝකථනයට ඇතුළත් වී නැහැ. එම මුදලත් එකතු වූ විට අති විශාල ණය මුදලක් ඉදිරියේ දී ගෙවීමට සිදු වෙනවා. මේවා ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවටයි.
2015 ජනවාරි මාසයේ දී අප බලයට පත්වීමෙන් අනතුරුව මාර්තු මාසයේ දී අප මේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමසීමක් කළා. එහිදී අපට පෙනී ගියේ මුදල් මණ්ඩලය විසින් පුද්ගලික ඍජු නිකුත් කිරීම් ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මුදල් මණ්ඩලය තීරණය කොට තිබුණේ රජයේ මුදල් අවශ්‍යතාවය සඳහා කෙටි කාලීන විසඳුමක් ලෙස Captive මූලාශ්‍ර හරහා මුදල් සෙවීමයි.
පුද්ගලික ඍජු නිකුත් කිරීම යටතේ විශාල වශයෙන් බැඳුම්කර නිකුත් කිරීමට එමඟින් කිසිඳු අනුමැතියක් ලබා දී තිබුණේ නැහැ. උදාහරණයක් වශයෙන් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආදී ආයතන මගින් බැඳුම්කර නිකුත් කිරීමටයි එම තීරණ ගෙන තිබුණේ. මා එම මුදල් මණ්ඩලයේ තීරණ සභාගත කරනවා.
එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද? මුදල් මණ්ඩල තීරණයක් නොමැතිව, විනිවිදභාවයකින් තොරව තමන්ට රිසි පරිදි පොලී අනුපාතයන් තීරණය කොට තමන්ට අභිමත ප්‍රාථමික ගැනුම්කරුවන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. මෙය අවභාවිතයන් ගණනාවකට හේතු වුණා.
2015 වසරේ අප මෙම රජය බාර ගන්නා තෙක් ක්‍රියාත්මක වූ ක්‍රමය පිරමීඩ වංචාවකට සමානයි. ඇත්ත වශයෙන්ම විශාලම පිරමීඩ වංචාව මෙයයි. මේ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය හා පොලිය ආපසු ගෙවීමට අපේ ආර්ථිකයට ශක්තියක් කරන්නට අපි 2025 දැක්ම ඉදිරියට ගෙන යනවා. මෙම ණය බර පැටවෙන්නේ මේ රටේ ජනතාවටයි.
දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති මේ මහා වංචාව පිළිබඳව සෙවීමට අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හා නිකුත් කළ බැදුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා. එසේම, මෙම කාලය තුළ කොටස් වෙළෙදපොල තුළ සිදු වූ මහා වංචාවන් පිළිබදව ද සෙවීමට බලාපොරොත්තු වෙනවා.
මෙවැනි වංචනික ක්‍රමවේදයක් වෙනුවට විනිවිද පෙනෙන, විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව අප කාගේත් පිළිගැනීමයි. ඒ නිසයි අපි විවෘත වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කළේ. මීට කලිනුත් විවෘත වෙන්දේසි සීමිත අවස්ථා කීපයකදී ක්‍රියාත්මක කර තියෙනවා. නමුත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට වඩා විධිමත් හා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සැකසීම අපේ අපේක්ෂාව වුණා. ඒ නිසා වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කරන අතරතුරම එය වඩාත් විධිමත් කරලීම උදෙසා ජාත්‍යන්තර විශේෂඥ උපදෙස් ලබා ගැනීමට අප ක්‍රියා කළා. එක්සත් ජනපද භාණ්ඩාගාර විශේෂඥයෙක් අපට ඒ සඳහා සහය වෙනවා.
අප රජය බලයට පත්වූ පසු බැඳුම්කර නිකුත් කිරීමට විනිවිඳභාවයෙන් යුතු ක්‍රමවේදයක් ඇති කළා. ඒ නිසා සෑම දෙයක්ම අපට පරීක්ෂා කරන්න පුලූවන්. ඒ නිසා බැඳුම්කර වංචාවක් පිළිබඳව චෝදනාවක් එල්ල වූ විගසම එය පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් තිබුණා. අප විසින් පිටිපන කමිටුව පත් කළා. එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කළා. එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සභාපතිත්වය දරණ කෝප් කමිටුව හරහා ඒ පිළිබඳව පරීක්ෂා කළා.
කෝප් කමිටු වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් පසුව ඒවා නීතිපතිවරයා වෙත යොමු කළා. ඉන් නොනැවතී තවදුරටත් කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ද පත් කළා. එම කොමිසමේ වැඩ කටයුතුවලට අප රජයේ පූර්ණ සහාය ලබා දුන්නා. මා ඇතුලූ රජයේ අමාත්‍යවරුන් කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඉතිහාසයේ මේ ආකාරයට යම් සිද්ධියක් පිළිබඳව විමර්ශනය කිරීමක් සිදු වූයේ ප්‍රථම වතාවටයි. එවැනි තත්ත්වයක් කළින් තිබුණේ නැහැ. රාජපක්ෂ පාලන සමයේ මෙහෙම පරීක්ෂණ කළා නම් පරීක්ෂණ කරපු අයට යන්න වෙන්නේ ලසන්ත වික්‍රමතුංග යවපු පාරේ. අපියි මෙවැනි විනිවිදභාවයක් ඇති ක්‍රමවේදයක් ඇති කළේ.
මම හැමදාමත් කියන පරිදි, ජනාධිපතිතුමාත්, මමත් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලීම සඳහා කැපවී කටයුතු කරනවා. මෙය අපේ රටට අලූත් අත්දැකීමක්. සමහරුන්ට තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක්. අත්දැකීම ආගන්තුක නිසා අඩුපාඩු, වැරදීම් සිදු වෙන්නට පුළුවන්. ඒවා අපි සකස් කර ගනිමු.
නමුත් රාජපක්ෂ රෙජීමයේ දී මෙන් වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර, නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට අප සූදානම් නැහැ. සමාජ සාධාරණත්වය වලලා දමන්නට අප සූදානම් නැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


