20වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් හා පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (18දා) පස්වරුවේ පවත්වා ඇති අතර, ඒ සඳහා සහභාගි වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමන් පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දුන් බව පැවසීමත් සමග රැස්වීම අතරමැද නතර වූ බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී පවත්වා ඇති බව වාර්තා වේ.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම සාකච්ඡාව සඳහා තරමක් ප්‍රමාද වී පැමිණීමත් සමග සාකච්ඡාව සඳහා පැමිණ සිටි අනෙකුත් මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් ඔහු ප්‍රමාද වූයේ ඇයිදැයි විමසා ඇති අතර, තමන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කළ බව බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.
ඒ අනුව සාකඡාවට සහභාගි වූ පිරිස බන්දුල ගුණවර්ධන මහතාගෙන් එහි වාර්තාව ලැබුණේදැයි විමසූ පසු, තවමත් එම වාර්තාව නොලද බව සඳහන් කිරීමත් සමග රැස්වීම අතරමැද නවතා දැමීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින පුද්ගලයෙකු ලෙස ප්‍රකට අතර, පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම පී.සී.ආර්. පරීක්ෂණයට මුහුණ දෙමින් සිය සෞඛ්‍යය පිළිබඳ සොයා බලා ඇතැයිද වාර්තා වෙයි.
පසුගිය රජය සමයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගි වී ඇති බවද වාර්තා විය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර නොමැති බව ද වාර්තා විය.
20වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම හා එහි අන්තර්ගත ඇතැම් වගන්ති පිළිබඳ පැන නැගී ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හා කැබිනට් මණ්ඩල රැස්වීම අද (19දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.